Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පාකිස්තානුවෝ 1-1 කින් එක්දින තරගාවලිය සම කරති

පාකිස්තානුවෝ 1-1 කින් එක්දින තරගාවලිය සම කරති

editorial - 2022 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉමාම් උල්හක්ගේ සහ නායක බාබර් අසාම්ගේ දක්ෂ පිතිහරඹය හමුවේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේදී ඊයේ (31 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය. මෙම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සම කිරීමටද පාකිස්තානුවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 349 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දු 6 ක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පිට පිටම දෙවැනි ශතකය ලබාගත් ඉමාම් උල් හක් පන්දු 97 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 106 ක් රැස්කරමින් පාකිස්තාන ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවේය.
 
පළමු කඩුල්ල වෙනුවන් ෆකාර් සමාන් (67) සමග එක්ව පන්දු 113 කදී ලකුණු 118 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඉමාම්, ඉන් නොනැවතී බාබර් අසාම් (114) සමග එක්ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 92 කදී ලකුණු 111 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

එහිදී පන්දු 83 කට මුහුණදුන් අසාම්, හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් සිය ශතකය සැරසූ අතර පන්දු 64 කදී වාර්තා වූ සමාන්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

ඉමාම්ගේ දැවී යෑමෙන් අනතුරුව මොහොමඩ් රිස්වාන් (23) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 80 ක සම්බන්ධතාවක් ගොඩනගමින් පාකිස්තාන කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම රැගෙන යෑමට බාබර් අසාම් සමත් විය. අවසන් ඕවර කිහිපයේදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග පන්දු 17 කින් නොදැවී ලකුණු 27 ක් රැස්කළ කුෂ්දිල් ෂා සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 348 ක් ලබා ගත්තේය. එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ට්‍රැවීස් හෙඩ් පන්දු 70 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 89 ක් ලබා සිටියදී සහිද් මොහොමඩ්ගේ පන්දුවක් හමුවේ ශහීන් අෆ්රිඩි අතට උඩ පන්දුවක් ලබාදෙමින් දැවී ගියේය.

මුලු ලකුණු සංඛ්‍යාව 1 ක්ව තිබියදී පළමු කඩුල්ල ලෙස නායක ඒරන් ෆින්ච් ලකුණු නොළබා දැවී ගියද, බෙන් මැක්ඩමොට් (104) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 144 කදී ලකුණු 162 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෙඩ් සමත් විය. පන්දු 108 කට මුහුණදෙමින් මැක්ඩමෝට් ලබාගත් ශතකය හයේ පහර 4 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.

මානස් ලැබුෂේන් පන්දු 49 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 59 ක්ද, මාකස් ස්ටොයිනිස් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 49 ක්ද, ෂොන් ඇබට් පන්දු 16 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද රැස්කරමින් ඕස්ට්‍රේලියානු ඉනිමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාව ආසන්නයට රැගෙන ගියහ.


ඕස්ට්‍රේලියාව - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 348
(ට්‍රැවීස් හෙඩ් 89, බෙන් මැක්ඩමෝට් 104, මානස් ලැබුෂේන් 59, මාකස් ස්ටොයිනිස් 49, ෂෝන් ඇබට් 28, ශහීන් අෆ්රිඩි 63/4, මොහොමඩ් වසීම් 56/2)

පාකිස්තානය - ඕවර 49 කදී කඩුලු 4 ක් දැවී 349  
(ෆකාර් සමාන් 67, ඉමාම් උල්හක් 106, බාබර් අසාම් 114, මොහොමඩ් රිස්වාන් 23, කුෂ්දිල් ෂා නොදැවී 27, ඇඩම් සම්පා 71/2)

-036

 


අදහස් (0)

පාකිස්තානුවෝ 1-1 කින් එක්දින තරගාවලිය සම කරති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.