Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ප්‍රවීන් මැයි මාසයේ විශිෂ්ටයන් අතරට

ප්‍රවීන් මැයි මාසයේ විශිෂ්ටයන් අතරට

editorial - 2021 ජුනි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් මැයි මාසය තුළදී විශිෂ්ඨතම දක්ෂතාව දැක්වූ  ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා නිකුත් කරන ලද නිර්දේෂිත නම් අතරට ශ්‍රී ලංකාවේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමද ඇතුළත්ව සිටියි. නිර්දේෂිත නම් අතරට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩකයන් වන්නේ පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී සහ බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකුර් රහීම් දෙදෙනාය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවිය වන https://www.icc-cricket.com/news/2165919 වෙත පිවිසීමෙන් ප්‍රවීන් වෙනුවෙන් ඔබගේ මනාපය පළකළ හැකිය.

පසුගය මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ප්‍රවීන්, මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේදී ලකුණු 178 කට කඩුලු 11 ක් බිඳහෙළීය. වසර 33 කට පසු මංගල ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු ඉනිම දෙකේදීම කඩුලු 5 බැගින් දවාගත් පළමු අවස්ථාව ලෙස එය වාර්තා අතරට එක් විය.

ප්‍රවීන්ට පෙර ‍ෆ්‍රෙඩ්රික් මාටින් (1890), ටොම් රිචඩ්සන් (1893), ක්ලැරී ග්‍රිමිට් (1925), චාර්ල්ස් මැරීට් (1933), කේන් ‍ෆර්නෙස් (1934), හින්ස් ජොන්සන් (1948), සිඩ්නි බර්ක් (1962), බොබ් මැසී (1972) සහ නරේන්ද්‍ර හිර්වානි (1988) තමන් සහභාගි වූ මංගල ටෙස්ට් තරගයේ ‍ඉනිම් දෙකේදීම කඩුලු 5 බැගින් දවාගැනීමට සමත් වූහ.

මැයි මාස‍ය තුළදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කළ හසන් අලී, ඉනිම 3 කදී කඩුලු 14 ක් බිඳහෙළීමට සමත් විය. එහිදී ඔහුගේ කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යය 08.92 ක් ලෙස සටහන් විය. පළමු තරගයේදී ලකුණු 89 කට කඩුලු 9 ක් දවාගත් අලී, දෙවැනි තරගයේදී ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගනිමින් පාකිස්තානයට 2-0 ක තරගාවලි ජයක් අත්කර දීමට දායක විය.      

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 80 ක් රැස්කළ බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම්, ඉන් අනතුරුව පැවැති එක්දින තරගාවලියේදී ශතකයක්ද සමගින් ලකුණු 237 ක් රැස්කළේය. එහි සාමාන්‍ය 79.00 ක් ලෙසද, ලකුණු රැස්කිරීමේ වේගය 88‍.43 ක් ලෙසද සටහන් විය. දෙවැනි තරගයේදී ලකුණු 125 ක් රැස්කරමින් තම කණ්ඩායමට එදා මෙදා තුර ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකාවට එරෙහිව තරගාවලි ජයක් අත්කර දීමට රහීම් සමත් විය.

මේ තිදෙනා අතරින් මැයි මස ක්‍රිකට් ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් තෝරාගන්නා ලද විද්වත් කමිටුවේ සාමාජිකයන්ගේ සහ ක්‍රීඩා ලෝලීන්ගේ ඡන්ද යොදාගනු ඇත. එම විද්වත් කමිටුවට ලොව වටා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, හිටපු ක්‍රීඩකයන්, විස්තර විචාරකයන් සහ අන්තර් ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරන ලද ක්‍රිකට් විශිෂ්ඨයෝ කිහිපදෙනෙක් ඇතුළත්වෙති.

විද්වත් කමිටුවේ ඡන්දවලින් 90% ක් මැයි මස ක්‍රිකට් ක්‍රීඩකයා තෝරාගැනීම සඳහා යොදාගනු ලබන අතර ‍ඒ සඳහා ඉතිරි 10% ලබාගන්නේ ක්‍රීඩා ලෝලීන්ගේ ඡන්දවලිනි.

මැයි මාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයා කවුරුන්දැයි යන්න මේ මස දෙවැනි සඳුදා (14 වැනිදා) නිවේදනය කරනු ඇත.

 

-036

 


අදහස් (0)

ප්‍රවීන් මැයි මාසයේ විශිෂ්ටයන් අතරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.