Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පපුවේ වේදනාවක් සෙරීනාව නතර කරයි

පපුවේ වේදනාවක් සෙරීනාව නතර කරයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර දෙකකට පසුව ලෝක පූජිත ක්‍රීඩිකාවන් දෙදෙනකුගේ සංග්‍රාමයක් දැකබලා ගැනීමට නොඉවසිල්ලෙන් සිටි දහස් සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන්ගේ බලාපොරොත්තු බිඳ දමමින් අන්තිම මොහොතේ අමෙරිකාවේ ටෙනිස් ශූරිය සෙරීනා විලියම්ස් ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියෙන් ඉවත්වූවාය. 

ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලියේ පුනරාගමනය ස්වර්ණමය මතක සටහනක් බවට පත් කිරිමට බලා සිටි 36 හැවිරිදි සෙරීනාට මේ අභාග්‍ය සම්පන්න සිදුවීමට මුහුණදීමට වූයේ ඇගේ ළය පෙදෙසේ මාංශපේශීයක ඇතිවූ විඳ දරාගත නොහැකි වේදනාවක් නිසාය.

එය උත්සන්න වූයේ රුසියාවේ සුපිරි ක්‍රීඩිකා මරියා ෂරපෝවා සමග ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සිවුවැනි වටයේ තරගය ආරම්භවීමට මිනිත්තු කිහිපයකට පෙරයි.

සෙරීනා කියන විදිහට මේ මාංශපේශී වේදනාව ඇයට මුලින්ම දැනී ඇත්තේ ඊට දින දෙකකට පෙර ජූලියා ජෝර්ජ් සමග පැවැති තුන්වැනි වටයේ තරගය අතරතුරදීය. පෙරේදා පැවැති යුගල තරග තුන්වැනි වටයේදී එය වඩාත් දරුණු අතට හැරී තිබිණි. එම තරගයෙන් සෙරීනා සහ වීනස් සොයුරියෝ පරාජයට පත්වූයේද තරගය පුරා සෙරීනා දස්කම් අතර නොසිටීම හේතුවෙනි. 

පරාජයකදී හැර, මීට පෙර කිසිදිනෙක ග්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතාවලියක් අතරතුරදී මෙවැනි තත්ත්වයක් මත තරගාවලියෙන් ඉවත් නොවූ සෙරීනා ඊයේ තරගයෙන් ඉවත්වූයේ කිසිවකු බලාපොරොත්තු නොවන පරිද්දෙනි. සෙරීනා  අද එම්.ආර්.අයි. පරීක්ෂණයකට මුහුණදීමට නියමිතය. 
නැවත ක්‍රීඩා කිරීමට හැකියාව හා ඇගේ ශාරිරික යෝග්‍යතාව පිළිබඳ එහිදී තීරණය කෙරෙනු ඇත. එසේ වුවත් දැනට පෙනෙන හැටියට තවත් සති 4කින් ආරම්භ වන විම්බල්ඩන් ශූරතාවලියටත් ඇගේ සහභාගිත්වය අවිනිශ්චිතය. 

“මම දන්නෙ නෑ අද පරීක්ෂණයේ ප්‍රතිඵල කොහොම වේවිද කියලා” ඇය එසේ කීවේ නැවත ටෙනිස් ක්‍රීඩා කිරිමට හැකියාවක් ලැබේවිදැයි වාර්තාකරුවන් ඇසූ මොහොතේදීය.

“මට පුළුවන් තරම් විශේෂඥ වෛද්‍යවරු මුණ ගැහෙන්නයි තීරණය කළේ” ඇය සටන අත් හැරීමට සූදානම් නැත. 
“මට කවදාවත් මේ වගේ දෙයක් වෙලා නෑ. මේක දරාගන්න බැරි තරම් වේදනාකාරීයි. මම දන්නෙ නෑ මොනව කරන්නද කියලා.

වේදනාවටත් වඩා විශාල දුකක් මට දැනෙනවා. මම ගොඩාක් දේවල් කැපකළා. මගේ දුව, මගේ පවුල මේ හැම දෙයක්ම කැප කරලයි ආපහු ටෙනිස් පිටියට ආවේ.” ඇය එසේ කියන්නේ වේදනාවෙන් යුතුවය.

“හැම මැච් එකකදීම හොඳට කළා. ශාරිරිකව ඉහළින්මයි හිටියේ. ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය වෙනුවෙන් මම ගොඩාක් දේවල් පරිත්‍යාග කළා. දැන් ඉතිං ඒවා ඉවරයි.”

සෙරීනාගේ අනපේක්ෂිත ඉවත්වීම නිසා මරියා ෂරපෝවා තරගයකින් තොරවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවාය. 
ෂරපෝවාගේ පුහුණුකරුවා වන තෝමස් හොජ්ස්ටෙඞ් මහතා කීවේ සෙරීනා තරගාවලියෙන් ඉවත්වන බව කියද්දී ෂරපෝවා තරගයට ඇය පැමිණෙන තුරු පිටිය අසළ බලා සිටිය බවය.

“ඒක අදහාගන්නත් බැරි පුවතක් වුණා”
“අපි හොඳින් සූදානම්වෙලයි හිටියේ. මේ වගේ තරගයකට සෑහෙන කාලයක් තිස්සේ අපි බලාගෙන හිටියා” යයි ෂරපෝවාගේ පුහුණුකරු කියද්දී සිය විශිෂ්ටතම ප්‍රතිවාදිනිය ගැන ෂරපෝවා මෙසේ කීවාය.

“ඇයට ඉක්මනට සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සෙරීනාගේ මැච් එක ගැන ගොඩාක් බලාපොරොත්තු තියාගෙනයි හිටියේ. දුකයි ඇය මේ විදිහට තරගාවලියෙන් ඉවත්වීම ගැන.”
යයි ෂරපෝවා කීවාය. 

- 077

 


අදහස් (0)

පපුවේ වේදනාවක් සෙරීනාව නතර කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.