Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story පන්දු යවන්නෝ කොළඹට ජය ගෙනෙති
එල්.පී.එල්. - 2021

පන්දු යවන්නෝ කොළඹට ජය ගෙනෙති

editorial - 2021 දෙසැ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ තෙවැනි තරගය ලෙස කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලූ 4 ක ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමත් විය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 117 ක ඉලක්කයක් හඹාගිය ස්ටාර්ස් ක‍්‍රීඩකයෝ පන්දු 15 ක් ඉතිරිව තිබියදී කඩුලූ 6 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.  

මුලු ලකුණු සංඛ්‍යාව 25 ක් වන විට ස්ටාර්ස් කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම ආපසු කී‍්‍රඩාගාරයට යැවීමට ග්ලැඩියේටර්ස් පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් සිවුවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි වැඩ බලන නායක ධනංජය ද සිල්වා පන්දු 28 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 24 ක් රැස්කරමින් ස්ටාර්ස් ඉනිම සවිමත් කළේය. ඉතා ඉවසිලිවන්ත පිතිහරඹය නිරත වූ දිනේෂ් චන්දිමාල් පන්දු 27 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග‍්‍රහණය තහවුරු කළේය. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කලම්බු ස්ටාර්ස් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ  ඕවර 20 අවසන් වන විට ලබාගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි. ධනංජය ද සිල්වා, අකිල ධනංජය සහ දුෂ්මන්ත චමීර කඩුලූ 2 බැගින් දවාගනිමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ. 

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වා පිට පිටම නිලකුණු  ඕවර 2 ක් යවමින් එහිදී කඩුල්ලක්ද දවාගනිමින් පන්දුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වීය. ධනංජයගේ පන්දු 10 කදීම ලකුණක් ලබාගැනීමට අපොහොසත් වූ ධනුෂ්ක ගුණතිලක 11 වැනි පන්දුවේදී කුසල් පෙරේරාගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් දැවී ගියේය. 

ලකුණු 22 කට කඩුලූ 3 ක් බිඳවැටී අඩ පණවී තිබූ ග්ලැඩියේටර්ස් ඉනිමට නව ජවයක් එක්කළ බෙන් ඩන්ක්, පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 38 ක් රැස්කළේය. සමීට් පටේල් (14) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 43 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඩන්ක් සමත් විය. 

අවසන්  ඕවර කිහිපයේදී හයේ පහර 2 ක් සමග පන්දු 17 කින් නොදැවී ලකුණු 25 ක් රැස්කළ ඉසුරු උදාන, ග්ලැඩියේටර්ස් ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් නූර් අහමඞ් (නොදැවී 11) සමග එක්ව ලකුණු 39 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. කෙසේ වුවත් පිතිකරුවන් 6 දෙනකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් පිටියෙන් ඉවත්ව යෑම ග්ලැඩියේටර්ස් කණ්ඩායමට විශාල පාඩුවක් විය. 

ගෝල් ග්ලැඩියේටර්ස් පිල -  ඕවර 20 කදී කඩුලූ 8 කට 116
(බෙන් ඩන්ක් 38, සමීට් පටේල් 14, ඉසුරු උදාන නොදැවී 25, ධනංජය ද සිල්වා 18/2, අකිල ධනංජය 19/2, දුෂ්මන්ත චමීර 25/2)

කොළඹ ස්ටාර්ස් පිල -  ඕවර 17.3 කදී කඩුලූ 6 කට 117
(ධනංජය ද සිල්වා 24, දිනේෂ් චන්දිමාල් නොදැවී 26, ඬේවිඞ් වයිස් 22, නුවන් තුෂාර 26/2, පුලින තරංග 31/2)


අදහස් (0)

පන්දු යවන්නෝ කොළඹට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.