Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නියපොතු හැපෙද්දී ඕස්ට්‍රේලියාව ජයගනී

නියපොතු හැපෙද්දී ඕස්ට්‍රේලියාව ජයගනී

editorial - 2021 සැප් මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව අද (24 වැනිදා) මැකායිහිදී පැවැති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට සත්කාරක ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමත් විය. එම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 275 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ කඩුලු 5 ක් පමණක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී බේත් මූනි, පන්දු 133 කදී හතරේ පහර 12 ක් සමග නොදැවී ලකුණු 125 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමුවාය.  

ලකුණු 52 කට කඩුලු 4 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී ටාලියා මැග්‍රාත් (74) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 136 කදී ලකුණු 126 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බේත් මූනි, ඉන් නොනැවතී නිකෝල් කේරි (නොදැවී 39) සමග එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 97 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් ඕස්ට්‍රේලියා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියාය.

ඉනිමේ අවසන් පන්දුවට මුහුණදුන් නිකෝල්ට තරගයේ ජයග්‍රහණ සිය කණ්ඩායමට ලබාදීම සඳහා එහිදී ලකුණු 3 ක් රැස්කිරීමට සිදුවූ නමුත්, ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ක්‍රීඩිකාව අතට උඩ පන්දුවක් දෙමින් ඇය දැවී ගියාය. එහෙත් පන්දු යවන්නිය එම පන්දුව යොමුකළ උස ප්‍රමාණය අනුව එය නිපන්දුවක් දැයි සැක හැර දැනගැනීම සඳහා තෙවැනි විනිසුරුට යොමුකිරීමට පිටියේ විනිසුරුවෝ පියවර ගත්හ.

තමන් තරගය ජයගෙන ඇතැයි සිතා සතුට සමරමින් සිටි ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ නළල් තල රැළිගන්වමින් අවසන් පන්දුව නිපන්දුවක් බවට තෙවැනි විනිසුරුවරයා සංඥා කිරීමත් සමග ඕස්ට්‍රේලියානු කණ්ඩායමට තවත් ලකුණක් සමග ඉතිරි ලකුණු 2 රැස්කිරීම සඳහා අතිරේක පන්දුවක්ද හිමිවිය. එම පන්දුවේදී පහසුවෙන්ම ලකුණු 2 ක් ලබාගත් නිකෝල් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 274 ක් රැස්කළ අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත් වූ ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිති මන්දනා පන්දු 94 කදී හතරේ පහර 11 ක් සමග ලකුණු 86 ක් රැස්කළාය. එහිදී ශෙෆාලි වෙර්මා (22) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මන්දනා සමත් වූවාය.

රීචා ඝෝෂ් පන්දු 50 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 44 ක්ද, පූජා වස්ත්‍රකාර් පන්දු 37 කදී හතරේ පහරක් සමග ලකුණූ 29 ක්ද, ජූලාන් ගොස්වාමි පන්දු 25 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 28 ක්ද රැස්කරමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. එහිදී දීප්ති වර්මා පන්දු 34 කින් ලකුණු 23 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.  


ඉන්දීය කාන්තා කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 7 ක් දැවී 274
(ස්මි්‍රති මන්දනා 86, ශෙෆාලි වෙර්මා 22, රීචා ගෝෂ් 44, පූජා වස්ත්‍රකාර් 29, නොදැවී ජූලාන් ගෝස්වාමි 28, දීප්ති වර්මා 23, ටාලියා මැග්‍රාත් 45/3, සොෆී මොලිනෙක්ස් 28/2)

ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 275  
බේත් මූනි නොදැවී 125, ටාලියා මැග්‍රාත් 74, නිකෝල් කේරි නොදැවී 39)

-036

 


අදහස් (0)

නියපොතු හැපෙද්දී ඕස්ට්‍රේලියාව ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.