Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළ නැඟීම ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් තිබෙන දිගු කාලීන ඉලක්කය වන නමුත් තමන් ඉදිරියේ පළමුවෙන්ම තිබෙන තරග කිහිපය ජයගැනීමත්, ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඔවුන්ගේ සුපුරුදු තරග රටාවට යොමු කිරීමත් කෙටි කාලීන ඉලක්කය බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නව පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් මහතා කියයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් වැඩ බාරගැනීමෙන් පසුව පැවැති පළමුවැනි මාධ්‍ය හමුවේදී සිල්වර්වුඩ් මහතා එසේ කියා සිටියේය.
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වාර්ෂිකව යාවත්කාලීන කිරීම් (2022 මැයි 4 වැනිදා) අනුව ශ්‍රීී ලංකා ටෙස්ට් කණ්ඩායම 7 වැනි ස්ථානයේ සිටී. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම මෙන්ම විස්සයි-20 කණ්ඩායම්ද සිටිනුයේ අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අනුව 9 වැනි ස්ථානයේය. ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් යන සියල්ලේම එක් එක් කණ්ඩායම් ලබා සිටින ස්ථාන සැලකිල්ලට ගනිමින් නැවත ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇත්තේ 7 වැනි ස්ථානයයි.
“ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිහරඹය මීට වඩා දියුණු විය යුතුයි. පිතිකරුවන්ට මීට වඩා ඉවසීමක් තිබිය යුතුයි. ඔවුන් පළමු ඉනිමේදී වැඩි ලකුණු ගණනක් පුවරුවට දමනවානම්, ඒක පන්දු යවන්නන්ටත් පහසුයි. විශේෂයෙන්ම පළමු ඉනිමේදී” යයි සිල්වර්වුඩ් මහතා පැවසීය.
ජෝ රූට්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම පසුගිය වසරේ (2021 - ජනවාරි) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී සිල්වර්වුඩ් මහතා එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වී සිටියේය. ගාල්ලේදී පැවැති එම තරගාවලියේ තරග දෙකේදීම ශ්‍රී ලංකා පිලට අත්වූයේ අන්ත පරාජයකි. එහෙත් පසුව පැවැති සීමිත ඕවර තරග වලදී පවා, ප්‍රතිවදීන්ගේ දෘෂ්ටිකෝණයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලූ අවස්ථවලදී එක් එක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සතුව තිබූ දස්කම් සිල්වර්වුඩ් මහතාගේ සිත්ගෙන තිබිණ.
පසුගිය ජනවාරියේදී එංගලන්ත කණ්ඩායම ඕස්ටේ්‍රලියාවේදී ලත් පරාජයෙන් පසුව සිල්වර්වුඩ් මහතා එංගලන්ත කණ්ඩායමෙන් ඉවත් කරන ලද නමුත් ශ්‍රී ලංකාවෙන් ලද ආරාධනය පිළිගැනීමට ඔහු පොළඹවන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දස්කම්ය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පුහුණුකරුවන් වූ මිකී ආතර්, පෝල් ෆාබ්‍රේස් සහ ග්‍රැහැම් ෆෝඩ් වැන්නන් සමග කතාබහ කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු එක්රැස් කිරීමටද සිල්වර්වුඩ් මහතා උත්සුක වී තිබිණ.
දැනට සිදුකෙරෙමින් පවතින නමුත් මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්‍ෂණ සම්බන්ධයෙන් සිය අදහස් දැක්වූ සිල්වර්වුඩ් මහතා කීවේ “ශාරීරික යෝග්‍යතාව නිසි මට්ටමට පවත්වා ගැනීමේ වාසිය එය කරන්නන්ට නෙමේ, ක්‍රීඩකයන්ටමයි” කියාය.
“වඩාත් හොඳ ශාරීරික යෝග්‍යතාවක් තියෙනවා නම් එයාට දිගු කාලයක් හොඳින් දස්කම් දක්වන්න පුළුවන්. අද තියෙන කාර්ය බහුළ ක්‍රිකට් තරගාවලි අතරේ, ඇත්තම කියනවා නම්, මේ තියෙන ක්‍රිකට් තදබදය අතරේ, ආකෘති තුනේම ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට දැඩි වෙහෙසක් දැනෙනවා. ඒත් ඔවුන් හොඳ ශාරීරික යෝග්‍යතාවක් තියාගෙන ඉන්නවා නම් ඒක ඒ අයට තමන්ගේ දස්කම් දිගින් දිගටම රඳවාගන්නට පහසුවක් වෙනවා” යයිද සිල්වර්වුඩ් මහතා පැවසීය.
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා කියා සිටියේ වර්තමානය වන විට පුහුණුකරුවාගේ කාර්යභාරය ඉතා විශාල වශයෙන් වෙනස් වී ඇති බවයි.
ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.