Last Update  :  2026-05-21 20:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story නව ක්‍රිකට් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට දානවා

නව ක්‍රිකට් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට දානවා

editorial - 2026 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ක්‍රිකට් පරිවර්තන (අතුරු) කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සකස් කිරීම බවත්, ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකුගේ මූලිකත්වයෙන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යන බවත් ක්‍රිකට් (පරිවර්තන) අතුරු කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පවසයි. නව ක්‍රිකට් ව්‍යවස්ථාව, නියමිත ක්‍රමවේදය ඔස්සේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, මීට පෙර යෝජනා කර තිබූ සියලුම ව්‍යවස්ථා කෙටුම්පත් උපයෝගී කරගනිමින් නවතම ක්‍රිකට් ව්‍යවස්ථාවක් සම්පාදනය කරන බවත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (21 වැනිදා) පෙරවරුවේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වික්‍රමරත්න මහතා එසේ කියා සිටියේය. 

ක්‍රිකට් ක්‍රීඩාවේ යම් යම් දේවල් සංවිධානය වී තිබෙන ආකාරය පිළිබඳ විශේෂ අවධානය යොමුකළ යුතු බවත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය වසර කිහිපයේදී කටයුතු කෙරුණු ආකාරය සම්බන්ධයෙන් විධිමත් වෝහාරික විගණනයක් කිරීමට සූදානම් වන බවත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසීය. 

“මූල්‍ය පරිපාලනය දිහා අනිවාර්යයෙන්ම බලන්න වෙනවා. මොකද ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන හැම රුපියලක්ම අපි යොදවන්න බලාපොරොත්තු වෙන්නේ පාසලේ ඉන්න දරුවාගේ ක්‍රිකට් මට්ටම ඉහළට ගන්න. එහෙමත් නැත්නම් කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවකගේ මට්ටම ඉහළට ගන්න”

“ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමෙන් අපි නැවත වරක් ඉහළටම ගේන්න ඕනේ” යයිද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. 

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වන කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් (2023 දී) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සුදුසු ව්‍යවස්ථාවක් සකස් කිරීමෙන් පසුව එය එවකට ජනාධිපතිවරයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට බාරදෙන ලදි. ඊට පෙර වසර 2016 දී, තවත් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ ප්‍රසන්න ජයවර්ධන මහතා විසින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරන ලද නමුත් මෙම ව්‍යවස්ථා දෙකම (2016 දී සහ 2023 දී) හුදෙක් කෙටුම්පතකට සීමා විය. 

කෙසේ වෙතත් මේ වතාවේදී තමන් බාරගත් වගකීම කෙළවර කරන බවත්, ඒ සඳහා කිසියම් කාලයක් ගතවිය හැකි බවත් ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපතිවරයා කියා සිටියේය. 
“ක්‍රිකට් කියන්නේ මුලු රටම එකට එකතු කරන්න පුළුවන් ක්‍රීඩාවක්”

“අපි ඔක්කොමලා එකතු වෙන්න පුළුවන් මොකක් හරි සංඥාවක් (සන්නාමයක්) තියෙනවා නම්, බැට් එකක් හරි බෝලයක් හරි දාන්න ඕන. මේක (ක්‍රිකට් ක්‍රීඩාව) එච්චරටම වැදගත්. මේකේ කොටස්කරුවන් වෙන්නේ රටේ ජනතාව. ඒ කියන්නේ (ක්‍රිකට්) ප්‍රේක්‍ෂකයෝ” යයි එරාන් වික්‍රමරත්න මහතා අද පෙරවරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී අවධාරණය කළේය. 

“පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉඳලා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වෙනකම්ම, අපි අවධානය යොමු කරනවා. අපේ කාලයේ නම් කාන්තා ක්‍රිකට් එච්චර තිබුණේ නෑ. ඒත් දැන් ගොඩාක් තියෙනවා”

වර්තමාන ක්‍රිකට් පරිවර්තන (අතුරු) කමිටුව විවිධාකාර ප්‍රවීණයන්ගෙන් සමන්විත එකකි. ක්‍රිකට් ක්‍රීඩකයන් වශයෙන් සිදත් වෙත්තමුණි, රොෂාන් මහානාම සහ කුමාර් සංගක්කාර එහි සිටිති. වත්මන් පරිවර්තන කමිටුවේ ‘ක්‍රිකට්’ අනු කමිටුවේ සභාපතිවරයා වශයෙන් හිටපු ක්‍රීඩකයන් තිදෙනා අතර ජ්‍යෙෂ්ඨතමයා වන සිදත් වෙත්තමුණි මහතා කටයුතු කරයි. 

“රොෂාන් මහානාම වගේම කුමාර් සංගක්කාරත් මාත් එක්ක නිරන්තරයෙන් කතාබහ කරනවා. ලංකාවේ නොහිටියත්, වට්ස් ඇප් හෝ දුරකතන ඔස්සේ අපි තුන්දෙනා නිරන්තරයෙන් සම්බන්ධ වී සිටිනවා” යයි ද සිදත් වෙත්තමුණි මහතා පැවසිය. 

මූල්‍ය පරිපාලනය පිළිබඳ මනා පරිචයක් ඇති ප්‍රකාශ් ශාෆ්ටර් සහ තුෂිර රදැල්ල යන මහත්වරුන් සමග අවන්ති කොළඹගේ මෙනවිය ද ක්‍රිකට් පරිවර්තන (අතුරු) කමිටුවේ සිටී. නීති විශාරදයන් ලෙසින්, ජනාධිපති නීතිඥවරුන් දෙදෙනකු වන ඩිනාල් පිලිප්ස් සහ උපුල් කුමාරප්පෙරුම යන මහත්වරුද ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සාමාජිකයෝ වෙති.

“ඉතිං අපිව ඇයි මේ කාර්යය සඳහා පත්කළේ...?”

“ඒ තමයි නියමාකාර පරිවර්තනයක් කිරීම. ඒක තමයි අපෙන් අපේක්‍ෂා කෙරෙන්නේ” 
“ඒත් පරිවර්තනයක් කෙරෙද්දී එතැන නිසියාකාර මූල්‍ය විනයක් තියෙන්න ඕනේ. අනෙක් පැත්තෙන් ක්‍රිකට් ක්‍රීඩාව තියෙනවා” යයි කී වික්‍රමරත්න මහතා.... 

“ක්‍රිකට් කියන්නේ ක්‍රිකට්”

“ක්‍රිකට් ක්‍රීඩාවට රජයේ කිසිම ඇඟිලි ගැසීමක් නෑ. මොකද ක්‍රිකට් කියන දේ ස්වාධීන වෙන්න ඕනේ. අපි අන්තර්ජාතික ක්‍රිකට් සභාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒකේ තියෙන ප්‍රධාන අවශ්‍යතාවක් තමයි ක්‍රිකට් ක්‍රීඩාව ආණ්ඩුවෙන් (රජයේ බලපෑමෙන් විනිර්මුක්ත) ස්වාධීන ආයතනයක් කියන එක”

“විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ ජනාධිපතිතුමාගෙන් හෝ ක්‍රීඩා ඇමතිතුමාගෙන් අපේ කමිටුවට කිසිම බලපෑමක් නෑ. අපේ වැඩේ ස්වාධීනව කරගෙන යන්න අපට ඉඩ සලසලා තියෙනවා” යයි ද වැඩිදුරටත් පැවසීය. 

වික්‍රමරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති පාලන ව්‍යූහය වෙනස් කිරීම ශ්‍රී ලාංකිකයන්ගේ පොදු අපේක්‍ෂාවක් වූ බවයි. 

“(මිනිස්සුන්ගේ) ලොකු බලාපොරොත්තුවක් තියෙනවා අපි (ක්‍රිකට් ක්‍රීඩාවෙන්) ඉහළටම එන්න ඕනේ. අපි දිනන්න ඕනේ කියන එක. ඒ නිසා යම්කිසි වෙනසක් වෙන්න ඕනේ. යම්කිසි පරිවර්තනයක් වෙන්න ඕනේ කියන එක තේරුම් අරගෙන තමයි අපිව මෙතැනට පත්කළේ”

“අපට තියෙන වගකීම තමයි, ක්‍රිකට් ක්‍රීඩාවේදී (අපේ කණ්ඩායම ඉහළට නැඟීමේ) වාතාවරණය හදන එක. ඉතින් අපේ මූලික අරමුණ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් සකස් කිරීම. ඒ කියන්නේ (ක්‍රිකට් ක්‍රීඩාවේ) පාලන ක්‍රමය වෙනස් කිරීම” යයි කී වික්‍රමරත්න මහතා... 

“මේක අද -ඊයේ කතාවක් නෙමෙයි. මේක අවුරුදු ගණනාවක් කතාවෙච්ච දෙයක්. විවිධාකාර තැන්වල සාකච්ඡා වෙච්ච දෙයක්. පාර්ලිමේන්තුවේත් සාකච්ඡා වෙච්ච දෙයක්. පාර්ලිමේන්තුවේ මේ ගැන සාකච්ඡා වෙන අවස්ථවලදි ඒ ගැන පක්‍ෂ භේදයක් තිබුණෙත් නෑ. සියලු දෙනාගේම ඒකමතික අදහස වුණේ යම්කිසි පරිවර්තනයක් වෙන්න ඕන කියන එකයි”

“අපට තියෙන මූලික වගකීම වෙන්නේ ඒ පරිවර්තනය කරන එකයි” යයි ද පැවසීය. 
ව්‍යවස්ථාව වෙනස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ මහජන අදහස් විමසීමෙන් පසුව බවත්, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව අයිති වෙන්නේ කිසියම් කමිටුවකටවත්, පිරිසකටවත් නොව එහි සැබෑ කොටස්කරුවන් වෙන්නේ රටේ මහජනතාව බවත් එරාන් වික්‍රමරත්න මහතා කියයි. 

“ඒ හින්දා ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්න එයාලට පුළුවන්. ඊට අමතරව, ක්‍රිකට් ක්‍රීඩාවට යම් යම් ආකාරයෙන් සම්බන්ධ වෙලා ඉන්න අයටත් පුළුවන් ඒ අයගේ අදහස් ප්‍රකාශ කරන්න” යයි ද සභාපතිවරයා පැවසීය. 
 


ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා (මැද), සිදත් වෙත්තමුණි (වමේ) සහ ප්‍රකාශ් ශාෆ්ටර් යන මහත්වරු
ඡායාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහයෙනි


අදහස් (0)

නව ක්‍රිකට් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට දානවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.