Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ධනංජය ද සිල්වාගේ (නොදැවී 153) අති විශිෂ්ට පිතිහරඹයත් ලසිත් ඇඹුල්දෙණියගේ (නොදැවී 25) සටන්කාමී ඉනිමත් නිසා හිස් ඔසවාගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ, ගාල්ලේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරයේ සිව්වැනි දිනය වන අද (02 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 328 ක් ලබා සිටියහ. මුල් ඉනිමේදී ලකුණු 49 ක අවාසියක් ඇති හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායම ඒ වන විට කොදෙව්වන්ට වඩා ලකුණු 279 ක් ඉදිරියෙන් සිටියේය.
ගාල්ලේ ටෙස්ට් තරගයක අවසන් දිනයේදී, ඕවර 98 ක් ඇතුළත, ලකුණු 280 ක් හඹා යාම ලෙහෙසි පහසු අභියෝගයක් නම් නොවේ.
ධනංජය ද සිල්වා සහ ලසිත් ඇඹුල්දෙණිය එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාව මෙම ශක්තිමත් ස්ථානයට කැඳවාගෙන ආහ. ගාල්ල ක්‍රීඩාංගණයේදී නව වාර්තාවක් වන මෙම ලකුණු 107 ක සම්බන්ධතාවෙන් ලකුණු 73 කට ධනංජය ද සිල්වා හිමිකම් කියයි.
මුලු ලකුණු සංඛ්‍යාව 73 ක් ව තිබියදී, තුන්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව පිටියට පිවිසි ධනංජය ද සිල්වා පසුපෙළ පිතිකරුවන් 5 දෙනා සමගින් සිය කණ්ඩායමට ලකුණු 255 ක් එක් කළේය. ශ්‍රී ලංකා ඉනිමේ බර සම්පූර්ණයෙන්ම කරට ගත් දකුණත් පිතිකරුවා, පැතුම් නිස්සංක සමගින් එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක සම්බන්ධතාවක් ගොඩනැංවීය. පසුව රමේෂ් මෙන්ඩිස් (25) සමග එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 51 ක් එක්කළ ධනංජය, 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැංවූයේ පන්දු යවන්නකු ලෙසින් කණ්ඩායමට එක්වී සිටින ලසිත් ඇඹුල්දෙණියට රැකවරණය දෙමිනි.
පැය 6 කට පසුව ධනංජය ආපසු ක්‍රීඩාගාරයට එන විට පන්දු 259 කට මුහුණ දී, ඒවායින් 13 ක් හතරේ සීමාවෙන් එපිටට යවා තිබූ ධනංජයගේ පිත්තේ ගැටුණු පන්දුව, දෙවතාවක්ම, ලෝන් ඕන් කලාපය හරහා ලණුව උඩින් පියාඹා ගියේය.
තේ පානය වන විට කඩුලු 8 ක් දැවී ලකුණු 238 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායම තේ පානයෙන් පැයකට පසුව කඩුලු 8 ක් දැවී ලකුණු 288 ක් ලබා සිටියේය. විනාඩි 60 කදී ලකුණු 50 ක් ලබාගත් ධනංජය සහ ලසිත් ඇඹුල්දෙණිය දෙදෙනා, තේ පානයෙන් පසුව පැය දෙකක් පුරා කොදෙව්වන්ට තලමින් ලකුණු 90 ක් රැස්කළහ.
දිවා ආහාරය වන විට සිව්වැනි කඩුල්ලත් බිඳවැටී තිබූ අතර ඒ වන විට ශ්‍රී ලංකා පිල සතුව තිබුණේ ලකුණු 102 ක වාසියක් පමණි. එහෙත් ධනංජය සහ රමේෂ් මෙන්ඩිස් (25) එක්ව කඩුලු 5 කට ලකුණු 208 ක් දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම තල්ලුකරගෙන ගියහ. දෙදෙනා අතර 6 වැනි කඩුල්ල වෙනුවන් පැවැති ලකුණු 51 ක සම්බන්ධතාව බිඳී ගියේ ක්‍රෙග් බ්‍රැත්වෙයිට්ගේ උගුලක රමේෂ් මෙන්ඩිස් අසුවීමෙනි.
ඉතාම හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මෙන්ඩිස් දවාගැනීම සඳහා පා ඉන්න පැත්තෙන් හතරේ සීමාව ආසන්නයේ පන්දු රකින්නන් රැඳවූ කොදෙව් නායකයා, තෙමේම පන්දු යැවීම ඇරඹීය. දුර්වල පන්දුව පෙනි පෙනී පහරට පෙළඹුණු මෙන්ඩිස්ගේ පිත්තේ හොඳින් වැදුණු පන්දුව ඩීප් ස්ක්වෙයාර් ලෙග්හි සිටි කෙමාර් රෝච්ගේ දෑත් අතර නතර වූයේ උඩපන්දුවක් ලෙසිනි.
පාදයේ කලව පසුපස මස්පිඬුවේ ආබාධයකට ලක්ව සිටින ඇන්ජලෝ මැතිව්ස් අංක 9 පිතිකරුවා ලෙසින් පිටියට පිවිසියද ඔහුට ලබාගත හැකිවූයේ ලකුණක් පමණි. එහෙත් ලසිත් ඇඹුල්දෙණිය අඩුපාඩුව පිරවූයේය.
දිවා ආහාරයට පෙර යැවුණු අවසන් පන්දුවේදී දැවී යාමට පෙර පීඩනයේ බර දරා ගනිමින් නොසැලී ඉදිරියට ගිය පැතුම් නිස්සංක (66) සහ ධනංජය ද සිල්වා දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගැනීම සඳහා අනගි මෙහෙවරක් කළහ. ලකුණු 78 ක් දක්වා ඇදී ගිය මෙම පිතිකරුවන් දෙදෙනාගේ ධෛර්යය සම්පන්න සම්බන්ධතාව නිසා ලකුණු 39 කට කඩුලු දෙකක් අහිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 208 ක් දක්වා ඉදිරියට ගියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.