Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ධනංජය - කුසල් ශ්‍රී ලංකාව ඔසවා තබති

ධනංජය - කුසල් ශ්‍රී ලංකාව ඔසවා තබති

Nisanka Sandeepani - 2018 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ධනංජය ද සිල්වා (නොදැවී 104) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 83) එක්ව දෙවැනි කඩුල්ල සදහා පැවැත්වූ ලකුණු 187 ක නොබිඳුණු සම්බන්ධතාවය හේතුවෙන් චිතගොන්හි සහූර් අහමඞ් චෞද්රි ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 187 ක් රැස්කිරීමට සමත්විය.


සිවුවැනි ටෙස්ට් ශතකය පන්දු 122 කදි ලබාගත් ධනංජය ද සිල්වා දිනය නිමාවන විට පන්දු 127 කට මුහුණ දෙමින් ලකුණු 104 ක් රැස්කර තිබුණි.

ඒ වන විට පස්වැනි ටෙස්ට් අර්ධ ශතකය පන්දු 91 කදි ලබාගත් කුසල් මෙන්ඩිස් පන්දු 152 කට මුහුණ දී  දිනය නිමා වන විට ලකුණු 83 ක් රැස්කර තිබුණි.

තයිජුල් ඉස්ලාම් විසින් කුසල් මෙන්ඩිස් දවාගැනීම සදහා අවස්ථා දෙකකදි කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීම නිසා විනිසුරු විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට නායක මහමදුල්ලා තීරණය කළේය.

නමුත් එම අවස්ථා දෙකේදීම පුණරූපන නැරඹූ තෙවැනි විනිසුරු විසින්ද ප්‍රධාන විනිසුරුගේ තීරණය සමගින් එකඟවීම නිසා බංග්ලාදේශය සතුව තිබූ විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට තිබූ අවස්ථා දෙකම අපතේ ගියේය.

බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ ආරම්භක පිතිකරුවන් දැඩි අසීරුවෙන් පන්දුවට පහරදුන් අතර ලකුණු ලබාගැනීමට ප්‍රථම දිමුත් කරුණාරත්න පිටියෙන් ඉවත් කිරීමට එහිදී හසන්ට හැකිවිය.

ඉනිම ආරම්භයේදී තරමක් පීඩනයකින් යුතුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිතිකරුවෝ සුපුරුදු රිද්මයට පැමිණෙමින් පන්දු යවන්නන්ට පහර පිට පහරදෙමින් ඕවරයකදි ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු හතරේ සිමාවේ රදවා ගැනීමට සමත්වූහ.

බංග්ලාදේශය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 513 ක් රැස්කළ අතර ඔවුන් ටෙස්ට් තරගයකදී රැස්කළ පස්වැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේය.

ලකුණු 638 ක් ලබාගනිමින් බංග්ලාදේශ කණ්ඩායම රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද  ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පිහිට වූවකි.

පළමු දින තරගය නිමාවන විට කඩුලු 4 ක් දැවී ලකුණු 374 ක් රැස්කරගෙන සිටි බංග්ලාදේශ කණ්ඩායමට අද පළමු භාගය තුළ කඩුලු 3 ක් දැවී  තවත් ලකුණු 93 ක් රැස්කිරීමට සමත්විය. ලකුණු 175 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි මොමිනුල් හක්ට අද දිනයේදී රැස්කිරීමට හැකිවූයේ එක් ලකුණක් පමණි.

රංගන හේරත්ගේ පන්දුවක් හමුවේ කුසල් මෙන්ඩිස් අතට උඩපන්දුවක් දෙමින් මොමිනුල් හක් දැවියන විට ඔහු පන්දු 214 කට මුහුණදී සිටි අතර හයේ පහරකින් සහ හතරේ පහර 16 කින් ඔහුගේ ඉනිම අලංකාරවී තිබුණි.

බංග්ලාදේශ ඉනිමට තවත් ලකුණු 14 ක් එක්වන විටදි දිනයේ දෙවැනි කඩුල්ල සහ සිය දෙවැනි කඩුල්ල ලෙස මොසඩක් හොසේන් ලකුණු 8 කට පිටියෙන් ඉවත් කිරීමට රංගන හේරත් සමත්විය.

එක් හයේ පහරක් සහ හතරේ පහරක් එල්ල කරමින් වේගවත් පිතිහරඹයක නිරතවීමට මෙහෙදි හසන් උත්සහ ගත්තද දුවද්දි දැවී යාමකට හසුව පිටියෙන් ඉවත්වන විට ඔහු රැස්කර තිබුණේ ලකුණු 20 ක් පමණි.

නායකත්වයේ වගකීම මනාව ඉටුකළ මහමදුල්ලා පසුපෙළ පිතිකරුවන් සමගින් එක්ව අවසන් කඩුලු තුන සදහා ලකුණු 96 ක් කණ්ඩායමට එක්කිරීමට සමත්විය. අවසන් මොහොතේ වේගවත් පිතිහරඹයක නිරතවූ මහමදුල්ලා බංග්ලාදේශ ඉනිම නිමාවන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 83 ක් රැස්කළේය. පන්දු 134 කට මුහුණදුන් මහමදුල්ලාගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර 7 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජේෂ්ඨ දඟපන්දු යවන්නා වන රංගන හේරත් කඩුලු තුනක් දවාගත්තද ඔහු යැවූ ඕවර 37 තුළඳී ලකුණු 150 ක් උදුරා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවෝ සමත්වූහ. ලක්ෂාන් සඳකැන් ලකුණු 92 කට කඩුලු 2 ක් දවාගත් අතර ඩිල්රුවන් පෙරේරා ලකුණු 112 ක් ලබාදුන්නද ඔහුට දවාගැනීමට හැකිවූයේ  එක් කඩුල්ලක් පමණි.

බංග්ලාදේශ පිතිකරුවන් දඟපන්දු යවන්නන් හමුවේ ලකුණු ගැනීමේ සාමාන්‍යය ලකුණු හතරට ඉහළින් පවත්වාගෙන ගියද සුරංග ලක්මාල් හමුවේ ඔවුන්ගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ලකුණු තුනට අඩුවෙන් පැවතුණි. 

 

 

 

තරගයේ විශේෂ අවස්ථා 


අදහස් (0)

ධනංජය - කුසල් ශ්‍රී ලංකාව ඔසවා තබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.