ඩයලොග් සමාගමේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය සංවිධානය කළ දැල්පන්දු ජාතික තරගාවලියේ (2018) ශූරතාව දිනාගැනීමට හැටන් නැෂනල් බැංකු කණ්ඩායම සමත් විය. වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී ලකුණු 47-27 ක් ලෙස ගුවන් හමුදා කණ්ඩායම පරාජය කරමින් හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ එම ශූරතාවට හිමිකම් කීහ.
සුපිරි 4 දෙනාගේ වටයේදී සහභාගි වූ තරග 3 ම ජයගනිමින් අපරාජිත කණ්ඩායම ලෙසින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් අතර ගුවන් හමුදා කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ සුපිරි 4 දෙනාගේ වටයේදී තරග දෙකක් ජයගනිමිනි.
එහිදී ගුවන් හමුදා කණ්ඩායම පරාජය වූයේ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම හමුවේ පමණි. සුපිරි 4 දෙනාගේ වටයේදී සෙලාන් බැංකු කණ්ඩායමට සහ යුද හමුදා කණ්ඩායම එරෙහිව පැවැති තරග වලදී ගුවන් හමුදා කණ්ඩායම ජයග්‍රහණ වාර්තා කළේය.
පළමු අර්ධය අවසන් වන විට ලකුණු 22-14 ක් ලෙස තරගයේ පෙරමුණ ගත් හැටන් නැෂනල් බැංකු ක්‍රීඩිකාවෝ, දෙවැනි අර්ධයේදී සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 25 ක් එක්කර ගත්හ. ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධයේදී ලබාගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි.
සෙලාන් බැංකු කණ්ඩායම සහ යුද හමුදා කණ්ඩායම අතර තෙවැනි ස්ථානය තොරාගැනීම සඳහා පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් නිතරග ජයක් ලැබූ සෙලාන් බැංකු කණ්ඩායම තරගාවලියේ තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.
ඡායාරූප - චන්දන ප්‍රනාන්දු
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.