
අංක 3 පිතිකාරිණි ශර්මින් අක්තාර්ගේ ලකුණු 86 නිසා පහසුවෙන්ම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ, තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත්හ. රාජ්ෂාහි හි අද (20 වැනිදා) පැවති පළමු කාන්තා එක්දින තරගයේදී බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ කඩුලු 3 ක ජයක් අත්කර ගත්හ.
කෙසේ වෙතත් තරගයේ අවසානය පෙනි පෙනී සත්කාරක ක්‍රීඩිකාවන් සංත්‍රාසයට පත්කළ දෙව්මි විහංගා සහ ඉනෝකා රණවීර දෙදෙනා, ලකුණු 2 ක් ඇතුළත කඩුලු 4 ක් දවාගත්හ. එසේ වුවත්, බංග්ලාදේශ ජයග්‍රහණයට අවශ්‍යව තිබූ ලකුණු 6 ලබාගැනීමට පන්දු 33 ක් ඉතිරිව තිබූ බැවින් පසුපෙළ පිතිකාරිණියෝ අපහසුවකින් තොරව ජයටැඹ පසුකර ගියහ.
ලකුණු 206 ක ඉලක්කයක් කරා යමින් සිටි බංග්ලාදේශ කාන්තා පිලේ කඩුලු 3 ක් ලකුණු 34 ක් ඇතුළත බිඳ වැටිණ. එතැන් සිට එක්වූ ශර්මින් අක්තාර් සහ ශෝභනා මෝස්තාරී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක් එක් කරමින්, ජයග්‍රහණයේ බලාපොරොත්තු රඳවා ගත්හ.
පාදයේ මස්පිඬු පෙරළීමක් හේතුවෙන් ශෝභනා මෝස්තාරී පිටියෙන් ඉවත්ව ගිය පසු එක්වූ ශර්මීන් අක්තාර් සහ ෂෝනා අක්තාර් (35) ලකුණු සංඛ්‍යාව 199 දක්වා ඉදිරියට ගෙන ගියහ. මෙම අවස්ථාවේදී ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ කෞෂිනී නෘත්‍යංගනා විසින් ශර්මින් අක්තාර් ස්ටම්ප් කිරීමකට හසුකර ගන්නා ලදි. ඇයගේ පන්දු 127 ක පිතිහරඹයට හතරේ පහර 13 ක් ඇතුළත් කර තිබුණි.
පිට දඟ පන්දු යවන්නී, දෙව්මි විහංගා විසින් පන්දු 6 ක් ඇතුළත කඩුලු 3 ක් දවාගැනීම හේතුවෙන් බංග්ලාදේශ ලකුණු පුවරුවේ ලකුණු 200 ට කඩුලු 7 ක් ලෙසින් දිස්වූවද, එතැන් සිට සටනක් දීමට තරම් ලකුණු සංඛ්‍යාවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සත-ුව නොතිබිණ.
නහිදා අක්ටර් සහ සුල්තානා ඛාතුන් ඉතිරි ලකුණු 06 ලබාගත් නමුත් ඔවුන් ද කලබල වී සිටි බව හොඳින්ම පැහැදිළි වී තිබිණ. මල්කි මදාරා වයිඩ් පන්දුවකින් අතිරේක ලකුණක් දුන් අතර එක්ස්ට්‍රා කවර්ස් හිදී පන්දුව නිවැරදිව රැකගත නොහැකි වීමෙන් බංග්ලාදේශයට ජයග්‍රාහී ලකුණ ලැබිණ. එයින් මනාව තහවුරු වූයේ මෙවන් තීරණාත්මක අවස්ථාවන්හිදී ප්‍රතිවාදීන් පීඩනයට පත්කරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සතු නොහැකියාවයි.
ඇඟිල්ලේ ආබාධයක් හේතුවෙන් චමරි අතපත්තු අද තරගයට ක්‍රීඩා නොකළ අතර හසිනි පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරුවාය. හසිනි පෙරේරා සහ ඉමේෂා දුලානි, ඕවර 14 කින් ලකුණු 68 ක් පුවරුවට එකතු කළහ. එතැන් සිට ඉමේෂා දුලානි සහ හන්සිමා කරුණාරත්න තත්වය පාලනය කරගනිමින් තුන්වන කඩුල්ලට තවත් ලකුණු 52 ක් එක් කළහ. දුලානි හතරේ පහර හයක් සමඟින් ලකුණු 54 ක් ලබාගැනීමෙන් පසුව සුල්තානා ඛාතුන්ගේ පන්දුවක් හමුවේ මිඩ් ඕෆ් ස්ථානයට උඩපන්දුවක් දෙමින් දැවී ගියාය.
ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින තරගය 22 වැනිදා පැවැත්වෙයි.
ශ්‍රී ලංකා කාන්තාවෝ - ඕවර 50 කදී කඩුලු 9 ට 205 යි
(හසිනි පෙරේරා 27, ඉමේෂා දුලානි 52, හන්සිමා කරුණාරත්න 54, කවීෂා දිල්හාරි 30, කෞෂිනී නෘත්‍යංගනා 18, නහීදා අක්තාර් 38/2, රිටූ මෝනි 36/3)
බංග්ලාදේශය - ඕවර 48.3 කදී කඩුලු 7 ක් දැවී 206 යි
(ශර්මින් අක්තාර් 86, නිගාර් සුල්තානා 13, ශෝභනා මෝස්තරී 41, ෂෝනා අක්තාර් 35, මල්කි මදාරා 37/2, දෙව්මි විහංගා 43/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.