Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story දකුණු කොරියාව සටනකින් තොරවම ඉදිරියට

දකුණු කොරියාව සටනකින් තොරවම ඉදිරියට

editorial - 2021 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ලෙබනනය ගෝල 2–1කින් පරාජයට පත්කළ දකුණු කොරියානුවෝ ලෝක කුසාලන (2022) ආසියානු කලාප තෙවැනි වටය සඳහා ඉතා පැහැදිලි වරමක් ලබාගත්හ.

ඒ සමග, ශ්‍රී ලංකාව ද තරග වැදුණු ආසියානු කලාප දෙවැනි වටයේ ‘එච්’ කාණ්ඩයේ තරග ‘සෝල්’ නුවරදී නිමාවට පත්විය.

‘එච්’ කාණ්ඩයේ (ලීග්) අවසන් තරගය ලෙස පැවැති මෙම තරගයේදී දකුණු කොරියානුවන්ට තියුණු සටනක් ලබාදීමේ ගෞරවය හැරෙන්නට ලෙබනනයට ඉදිරියට යාමට වෙනත් කිසිවක් ඉතිරිව නොතිබුණි.  ඊට හේතු වූයේ දෙපිල මෙම තරගයේදී ගැටෙන විටත් දකුණු කොරියාව තෙවැනි වටයට පිවිසීමේ සියලු සුදුසුකම් සනාථ කර අවසන්ව තිබූ බැවිනි.
ඉරිදා පැවැති තරගය ලෙබනනය ජය ගත්තේ නම් දෙපිලේ ප්‍රසාද ලකුණු සම වීම තුළ එම අවස්ථාවේදීත් ඊළඟ තරග වටයට ප්‍රවේශ වීමට සුදුසුකම් සනාථ කර තිබුණේත් දකුණු කොරියානුවන් විසින්මය.

මීළඟ ලෝක කුසාලන පාපන්දු තරගාවලිය 2022 නොවැම්බර් 21 සිට දෙසැම්බර් 18 වැනිදා දක්වා දෝහා කටාර් රාජ්‍යයේදී   පැවැත්වීමට නියමිතය.  ඊට ලොව පුරා හොඳම කණ්ඩායම් 32ක් සුදුසුකම් ලබයි.

ඉරිදා පැවැති ලෙබනනය හා දකුණු කොරියාව අතර තරගයේදී දෙපිලම ක්‍රීඩකයන්ගේ ආදේශ පහක් බැගින් ලබාගැනීමට උනන්දු විය. කෙසේ වෙතත් 12 වැනි විනාඩියේදී සිය ගෝලය වාර්තා කරමින් තරගයේ පළමු භාගය ගෝල 1–0ක් ලෙස පෙරමුණ ගෙන සිටියේ ලෙබනනයයි.

මෙම තරගයේ නිමාවත් සමග දකුණු කොරියානුවෝ අපරාජිතව තරග වටය අවසන් කිරීමට සමත් වූයේ ප්‍රසාද ලකුණු 16ක් ලබමිනි. දෙවනි ස්ථානයේ පසුවන ලෙබනනයට එකතු කරගත හැකි වූයේ ප්‍රසාද ලකුණු 10ක් පමණි.  සිය පසමිතුරු රාජ්‍යය වන උතුරු කොරියාව සමග පැවැති තරගය පමණක් ගෝල 0–0ක් ලෙස ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට එහිදී දකුණු කොරියානුවෝ සමත් වූහ.  කෙසේ වුවත් උතුරු කොරියාව අවසන් භාගයේදී තරග වටයෙන් ඉවත්ව ගියේය.

මෙම තරග වටය පුරා ශ්‍රී ලංකාවේ ප්‍රබලතම ප්‍රතිවාදියා බවට පත්ව සිටි දකුණු කොරියාව, ශ්‍රී ලංකාවට එරෙහිව තරග දෙකකදී ගෝල 13 ක්ම ලබාගත්තේය. ඔවුන් අවසන් වටය ප්‍රතිවාදියකු වෙතින් පරාජයට පත්ව ඇත්තේ පසුගිය මාර්තු 25 වැනිදා ‘යොකොහෝමා’ නුවරදී පැවැති සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී ජපානයට ගෝල 3-0කින් පරාජයට පත්වීමයි.

මෑත ලෝක පාපන්දු තරග ඉතිහාසය පුරා සුවිශේෂී දක්‍ෂතා පළ කළ ආසියානුවෙන් බිහි වූ ප්‍රබලතම පාපන්දු කණ්ඩායමක් ලෙස සැලකෙන දකුණු කොරියාව 2022 ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුදුසුකම් සොයා තවදුරටත් ඉදිරියට යාමේ අවස්ථාව ලබාගෙන තිබේ.  ඒ අතුර, ඔවුන් ජුලි 23 වැනිදා ආරම්භ වන ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පාපන්දු තරගාවලියටත් නිර්දේශ ලබා සිටියි.

දකුණු කොරියාව 1986 සිට මේ දක්වා ලෝක කුසලාන තරගාවලි සියල්ලේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමටත් සමත්ව සිටියි. එමෙන්ම 2019 ආසියානු කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය දක්වා පැමිණ තිබේ.  ඉන්දුනීසියාවේ පැවැති 2018 ආසියානු ක්‍රීඩා උළෙල සඳහා වයස 23න් පහළ ජාතික කණ්ඩායම සහභාගි කරමින් එහි පාපන්දු රන් පදක්කම දිනාගෙන තිබේ.

මෙම තරග වටයේ ක්‍රීඩා කළ කොරියානු ක්‍රීඩක කිම් සින් වුක් මේ වනවිටත්  ගෝල හයක් වාර්තා කරමින් මෙතෙක් පැවැති ලෝක කුසලාන (2022) තරග වටවලදී වැඩිම ගෝලලාභීන් අතරට එක්ව සිටියි.

‘එච්’ කාණ්ඩයේ තෙවැනි ස්ථානයේ පසුවන තුර්ක්මෙනිස්ථානය ඊයේ තරග වටය නිමා වනවිට ප්‍රසාද ලකුණු නවයක් (9) ලබා තෙවැනි ස්ථානයට පත්විය. ශ්‍රී ලංකාව කිසිදු තරගයක් ජය නොගත් බැවින් ඔවුන්ට කිසිදු ප්‍රසාද ලකුණක් හිමි නොවීය.

මුළු තරග වටය පුරා ප්‍රතිවාදීන්ට එරෙහිව ගෝල 22ක් රැස් කළ දකුණු කොරියානුවන්ට එරෙහිව  වාර්තා වූ එකම ගෝලය ලබාගත්තේ ලෙබනන කණ්ඩායමේ හසක් අලි සාඕ විසිනි.

ලෝක කුසලාන (2022) ආසියානු කලාප තෙවැනි වටයේ තරග මෙම සැප්තැම්බර් 2 වැනිදා සිට 2022 මාර්තු 29 වැනිදා දක්වා පැවැත්වේ.


අදහස් (0)

දකුණු කොරියාව සටනකින් තොරවම ඉදිරියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.