Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ‘ කාණ්ඩය යටතේ අද (8 වැනිදා) පැවති තරගයකදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 21-20 ක තියුණු ජයක් වාර්තා කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තවදුරටත් සිය අපරාජිත බව රැකගැනීමටද ත්‍රිත්ව විදුහල සමත් වූ අතර එහිදී ලැබූ පරාජය හේතුවෙන් රාජකීය විදුහලේ අපරාජිත බව බිඳවැටිණ.
තෙවැනි සතියේ තරගයක් ලෙස කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 13-06 ක් ලෙස පෙරමුණ ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයෝ සමත් වූහ. පළමු අර්ධයේදී ගෝල දිනුමක් සහ දඬුවම් පහර 2 ක් මගින් ලකුණු රැස්කිරීමට ත්‍රිත්ව විදුහල සමත් වූ අතර රාජයකීය විදුහල් ලකුණු රැස්කළේ දඬුවම් පහර 2 ක් මගිනි.
තරගයේ 12 වැනි විනාඩියේදී රාජකීය විදුහලේ තෙවිඳු සපරමාදු විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පතක් ලැබූ අතර එම විනාඩියේදීම දඬුවම් පහරක් සාර්ථක කරගත් කොවිද වික්‍රමසිංහ ත්‍රිත්ව විදුහල වෙනුවෙන් ලකුණු ලබාගැනීම ආරම්භ කළේය. ඉන් නොනැවතුන කොවිද, 21 වැනි විනාඩියේදී අනුහස් කොඩිතුවක්කු ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනයද සාර්ථක කර ගනිමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ දැමුවේය.
නබීල් යහිය විසින් 29 වැනි විනාඩියේදී සාර්ථක කරගන්නා ලද දඬුවම් පහරත් සමග රාජකීය විදුහලේ ලකුණු ලබාගැනීම ආරම්භ විය. පළමු අර්ධයේ අවසන් භාගය ත්‍රිත්ව විදුහලට එතරම් යහපත් නොවූ අතර 30 වැනි සහ 35 වැනි විනාඩිවලදී එම කණ්ඩායමේ ශාබිල් යෂීඩ් සහ අනුහස් කොඩිතුවක්කු විනිසුරුගේ දැඩි අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ.
කෙසේ වුවත් දෙවැනි කහ කාඩ්පත ලැබීමට පෙර (35 වැනි විනාඩියේදීම) ත්‍රිත්ව විදුහල වෙනුවෙන් තවත් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට කොවිද වික්‍රමසිංහ සමත් විය. ඒ අනුව කණ්ඩායම් දෙකේ ලකුණු තත්ත්වය 13-03 ක් බවට පත් විය. පළමු අර්ධයේ අතිරේක කාලයේදී රාජකීය විදුහල වෙනුවෙන් දෙවැනි දඬුවම් පහරත් සාර්ථක කරගත් නබීල් යහිය, ලකුණු 13-06 ක් ලෙස කණ්ඩායම් දෙක අතර පැවැති පරතරය අඩු කළේය.
දෙවැනි අර්ධය තුළ ගෝල දිනුම් 2 ක් මගින් ලකුණු රැස්කිරීමට රාජකීයයන් සමත් වෙද්දී, ත්‍රිත්ව ක්‍රීඩකයන්ට ලකුණු ලබාගත හැකි වූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් පමණි. කෙසේ වුවත් පළමු අර්ධයේදී පැවැති ලකුණු පරතරය අනුව මෙම තරගයෙන් රාජකීය විදුහලට එරෙහිව ලකුණු 21-20 ක තියුණු ජයක් වාර්තා කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය.
දෙවැනි අර්ධයේදී ආක්‍රමණශීලී අයුරින් තරගයට අවතීර්ණ වූ රාජකීය ක්‍රීඩකයෝ 44 වැනි සහ 61 වැනි විනාඩිවලදී ගෝල දිනුම් දෙකක් මගින් සිය කණ්ඩායමට ලකුණු 14 ක් එක්කළහ. එහිදී රහිල් විජේසේකර සහ හස්නක හිග්ගොඩ ලබාගත් උත්සාහක දිනුම් දෙකෙහිම ප්‍රවර්ථනයන් සාර්ථන කරගනු ලැබුවේ නබීල් යහිය විසිනි. එම ගෝල දිනුම් දෙකට මැදිව (51 වැනි විනාඩියේදී) කොවිද වික්‍රමසිංහ සාර්ථක කරගත් දඬුවම් පහර හේතුවෙන් ලකුණු 20-16 ක් ලෙස රාජකීයයන්ට වඩා පසුපසින් වුවද, සටනක් දිය හැකි මට්ටමක ත්‍රිත්ව විදුහල පසු විය.
තරගයේ අවසන් විනාඩි කිහිපයේදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් කරට කර සටනක නිරත වූ අතර එහිදී ත්‍රිත්ව ක්‍රීඩකයෝ ලකුණු රැස්කිරීමටත්, රාජකීය ක්‍රීඩකයෝ ලකුණු ලබා නොදීමටත් දැඩි වෙහෙසක් දැරූහ. කෙසේ වුවත් තරග නිමාව පෙනි පෙනී 68 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් අතිරේක ක්‍රීඩක යසිරු ආරියවංශ ත්‍රිත්ව විදුහල ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහි ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට කොවිද වික්‍රමසිංහ අපොහොසත් වුවත් ත්‍රිත්ව විදුහලේ ජයග්‍රහණයට ඉන් කිසිදු බලපෑමක් නොවීය.
(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහයෙනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.