
(සංජීව ධර්මසේන - ජපානයේ ටෝකියෝ නුවර සිට)
ලොව විශාලතම හා අසිරිමත්ම ක්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් උළෙලේ 32 වැන්න ජපානයේ, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩාංගණයේ පැවැති විචිත්‍රවත් සමාප්ති උත්සවයක් සමඟින් අද (08දා) අවසන් විය.
ඔලිම්පික් උළෙලක සත්කාරකත්වය ලබාගත් පළමු ආසියානු රට ලෙස මීට වසර 57කට පෙර ඔලිම්පික් උළෙලක් පැවැත් වූ ජපානය, මෙම ක්‍රීඩා උළෙල පැවැත්වීමට කටයුතු යොදා තිබුණේ පසුගිය 2020 වසරේදීය. කෙසේ නමුත් පවත්නා %කෝවිඩ්-19^ ව්‍යසනය එවකට දැඩිව තිබූ හෙයින් මෙම වසර දක්වා කල්දැමීමට සිදුවිය. කෙසේ නමුත් මෙවරද එය පැවැත්වූයේ අභියෝග හා සෞඛ්‍ය රුකවල් රුසක් මධ්‍යයේය.
පෙරමුණ ඇමරිකාවට
රටවල් (204) හා නියෝජන කණ්ඩායම් දෙකක (රැසියානු ඔලිම්පික් කමිටුව සහ සණරණාගත) ලෙසින් කණ්ඩායම් 206 ක් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගි වූහ. ඔව්හු ක්‍රීඩා 33 ක තරග ඉසව් 339 ක් යටතේ තරග වැදුණහ.
එහිදී රන් පදක්කම් 39 ක් සමගින් පදක්කම් 113ක් දිනූ ඇමරිකා එක්සත් ජනපදයට පදක්කම් සටහනේ පෙරමුණ හිමිවිය. කෙසේ නමුත් අවසන් වරට පැවති ඔලිම්පික් උළෙල ත්‍රිත්වයේම (2012, 2016, 2020) පෙරමුණ හිමිව ඇත්තේද ඇමරිකාවට වන අතර, ඔවුන් අතිබහුතර ඔලිම්පික් උළෙල සංඛ්‍යාවක පෙරමුණ අත්කරගෙන ඇත.
කෙසේ නමුත් මෙවර අවසන් දිනය දක්වාම පදක්කම් සහහනේ පෙරමුණ අත්පත්කරගෙන සිටි චීනයට අවසන් මොහොතේ දෙවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවූයේ රන් පදක්කමක වෙනසකිනි. ඔවුන් පදක්කම් 38 කට හිමිකම් කියූහ. මීට අමතරව සත්කාරක ජපානය පදක්කම් සටහනේ තෙවැනි ස්ථානය දිනාගත්තේ රන් පදක්කම් 27 කට හිමිකම් කියමිනි.
ශ්‍රී ලංකාව පළමු වටයට පමණයි
අසීරැ කඩයිම් රැසක් පසුකරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 09 දෙනෙක් ඔලිම්පික් ගියහ. නමුත් එකම ශ්‍රී ලාංකිකයෙකුට හෝ තමන් නියෝජනය කළ ඉසව්වේ එක් පියවරක් හෝ ඉදිරියට යාමට නොහැකි වූහ. සියලුම ශ්‍රී ලාංකිකයන්ට මූලික වටයෙන් පසුව සිය ගමන අවසන් කරන්නට සිදුවිය.
මීටර 100 ඉසව්වට සහභාගි වූ යුපුන් අබේකෝන් මූලික වටයේ 06 වැනි ස්ථානයට පත් විය.
මීටර 800 කාන්තා ඉසව්වට සහභාගි වූ නිමාලි ලියනාරච්චි, අසුන් මෙහෙයවීමේ ක්‍රීඩිකා මැටිල්ඩා කාල්සන්, ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානි, පිහිනුම් ක්‍රීඩක මැතිව් අබේසිංහ හා අනිකා ගෆූර්, බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරැණාරත්න, ජූඩෝ ක්‍රීඩක චාමර නුවන් ධර්මවර්ධන හා වේඩිතැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල යන සියලු දෙනාම පළමු වටයෙන් එහාට නොගියහ.
ඉන්දියාවේ වාර්තාගත දස්කම
ඉන්දියාව ලොව දෙවැනි විශාලතම මානව සම්පතට හිමිකම් කියූවත්, ඔවුන් ඔලිම්පික් ඉතිහාසයේ සැලකිය යුතු දක්‍ෂතාවක් දක්වා නොමැත. කෙසේ නමුත් කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ පරිදි මෙවර ඓතිහාසික පදක්කමක් කරා ඉන්දියාව රැගෙන යාමට නීරජ් චොප්රා සමත් විය.
හෙල්ල විසිකිරීම පිරිමි අවසන් තරගය සෙනසුරදා පැවති අතර, එහිදී ඉන්දීය ඔලිම්පික් ඉතිහාසයේ පළමු මලල ක්‍රීඩා රන් පදක්කම සිය රටට දිනාදීමට චොප්රාට හැකිවිය. ඔහු මීටර් 87.58 ක දක්‍ෂතාවක් දක්වමින් එම ගෞරවය ඉන්දියාවට දිනාදුන්නේය. එමෙන්ම මෙය වසර 121කට (වසර 1900දී) පසු මලල ක්‍රීඩා ඉසව්වක ඉන්දියාව දිනූ පළමු ඔලිම්පික් පදක්කමද වෙයි. මෙය සමස්ත දකුණු ආසියානු කලාපයේ එකම මලල ක්‍රීඩා ඔලිම්පික් රන් පදක්කමද වෙයි.
මෙවර ඉන්දියාව රන් පදක්කමක්, රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කම් 04ක් සමගින් පදක්කම් 07ක් දිනාගත්තේය. එය සැලකෙන්නේ ඔලිම්පික් ඉතිහාසයේ ඉන්දියාව දිනාගත් වැඩිම පදක්කම් සංඛ්‍යාව ලෙසයි. ඔවුන් මෙවර එකම පදක්කමක් හෝ දිනූ රටවල් 86 ක් අතරින් 48 වැනි ස්ථානයට පත්විය. ඉන්දියාව ඔලිම්පික් ඉතිහාසය පුරා රන් පදක්කම් 10ක්, රිදී පදක්කම් 09 ක් හා ලෝකඩ පදක්කම් 16ක් සමඟ පදක්කම් 35ක් දිනා ඇත.
සත්කාරක ජපානයට ඉහළම වටිනාකමක්
වසර 57කට පසු හිමි වූ ඔලිම්පික් සත්කාරකත්වයෙන් උපරිම ඵල නෙළාගත් ජපානය මෙවර දිනාගත් රන් පදක්කම් 27ක සැලකෙන්නේ ඔවුන් ඔලිම්පික් උළෙලක දිනාගත් ඉහළම රන් පදක්කම් එකතුව ලෙසිනි. ඔවුන් මීට පෙර දිනා තිබූ වැඩිම රන් පදක්කම් සංඛ්‍යාව වූයේ 16කි. එය 2004 ඇතැන්ස් (ග්‍රීසිය) හා 1964 ටෝකියෝ ඔලිම්පික් උළෙලහි දිනාගෙන තිබුණි.
කෝවිඩ්-19 බලපෑම
කෝවිඩ්-19 අවධානම මධ්‍යයේ ඔලිම්පික් උළෙල පැවැත්වීමට සිදු වූවත්, සමස්තයක් ලෙස ඉන් ඇති වූ බලපෑම සීමා සහිතය. උළෙලේ කටයුතු ආරම්භ වූ පසුගිය ජූලි මාසයේ සිට අද (08දා) දක්වා ක්‍රීඩා උළෙල තුළින් වාර්තා වූයේ ආසාදිතයන් සිදුවීම් 430ක් පමණි.
අවසන් දින තුන තුළදීම කිසිම ක්‍රීඩකයෙකුට වෛරසය ආසාදනය නොවූ අතර, ඒ හේතුවෙන් ක්‍රීඩා ගම්මානයේ රැඳී සිටින්නන් අතර කිසිදු සිදුවීමක් වාර්තා නොවුණි. පුරා දින 17ක් පුරා පැවැති ක්‍රීඩා උළෙල අවසන් වනවිට ජපානය හා විශේෂයෙන් ටෝකියෝව තුළද කොවිඩ්-19 හදිසි නීතිය ටිකෙන් ටික නිදහස්ද විය.
මීළඟ ඔලිම්පික් උළෙල ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතව අතර, ඒ වෙනුවෙන් නිළ ධජය ප්‍රංශයට භාරදීම මෙහිදී සිදුවිය.






ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.