
(නාමල් පතිරගේ)
කොවිඩ් අවදානමේ බලපෑම තවදුරටත් රට තුළ උද්ගතව තිබෙන හෙයින් මෙම වසරට (2021) නියමිත 47 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලද අවලංගු කෙරෙනු ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය වසරට (2020) නියමිතව තිබූ 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලද කොවිඩ් වසංගතය නිසා අත්හැර දැමීමට ක්‍රීඩා අමාත්‍යාංශයට සිදු විය.
ක්‍රීඩා උළෙල පිට පිටම නොපැවැත්වුණු මෙම වසර දෙකම එකතු කර ඒකාබද්ධ ජාතික මහා ක්‍රීඩා උළෙලක් පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය ගත් උත්සාහයද මේ වන විට අසාර්ථක වී තිබේ.
ඒ පිළිබඳව කළ විමසුමකදී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා පැවසුවේ මෙම වසරට නියමිත ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීම මේ වනවිට ප්‍රායෝගිකව දුෂ්කර වී තිබෙන බවයි.
“ක්‍රීඩා අමාත්‍යාංශයට දැනට වාර්තා වී ඇති පරිදි මධ්‍යම හා දකුණු යන පළාත් පමණක් ඔවුන්ගේ පළාත් තරගය අවසන් අදියරට පැමිණ තිබෙනවා. නමුත් සෙසු පළාත් බහුතරයක ඔවුන්ගේ දිස්ත්‍රික් තරග වට වත් මේ දක්වා පවත්වා අවසන් කළ බවට වාර්තා වෙලා නෑ.“
“ඒ නිසා ජාතික මහා ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කරන්නට තරම් මේ වසරේ කාලයක් ඉතිරිවෙලා නෑ. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවිය හැකි අසාධාරණය අවම කරන්න ගත හැකි සෑම උත්සාහයක්ම ගන්න ඉදිරියේදී අපි පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයිද ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.
රාජ්‍ය අනුග්‍රහයෙන් පැවත්වෙන ප්‍රධානතම ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 21 කට වැඩි මුදලක් වැය කරයි.
ක්‍රීඩා උළෙල නොපැවැත්වීමෙන් මෙම වසරට ඉතිරි වන ප්‍රතිපාදන පළාත් ක්‍රීඩාංගණ අලුත්වැඩියා කටයුතු සඳහා යොදා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ සඳහා රුපියල් කෝටි 10ක පමණ මුදලක් ඉන් ලබා ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
එවකට ක්‍රීඩා ඇමැති ධුරය දැරූ දිවංගත කේ.බී. රත්නායක මහතාගේ අදහසකට අනුව එකළ පළාත් ක්‍රීඩා උළෙල ලෙස 1972 දී ආරම්භ වූ ජාතික මහා ක්‍රීඩා උළෙල මේ දක්වා පවත්වා නැත්තේ 1983 දී සහ 2020 දී පැවැත්වීමට නොහැකි විය. 1983 ජූලි මාසයේ පැනනැගුණු ජාතිවාදී කෝලාහලය හේතුවෙන් එය පැවැත්වීමට නොහැකි විය. එයින් පසුව මෙම ක්‍රීඩා උළෙල පැවැත්විය නොහැකි වූයේ 2020 හා 2021 වසර වලදීය.
ආරම්භක වසර (1972) හැරෙන්නට මේ දක්වා එහිදී වැඩිම රන් පදක්කම් ගණනක් හිමිකර ගනිමින් සමස්ත ශූරතා දිනා ගැනීමට සමත්ව ඇත්තේ බස්නාහිර පළාත විසිනි. ආරම්භක වසරේදී සමස්ත ශූරතාව දිනා ගත් බවට වාර්තා වන්නේ දකුණු පළාතය.
අවසන් වරට (2019) බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී පැවති 45 ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව බස්නාහිර පළාත විසින් දිනා ගන්නා ලද්දේ රන් පදක්කම් 99ක් දිනා ගනිමිනි.
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහක හා සහභාගිත්වය වෙනුවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිකුත් කරන සහතික පත්‍රයට ඉහළ වටිනාකමක් ලැබෙන බැවින් ඔවුන්ට එය වසර දෙකක්ම මගහැරී යාමෙන් මහත් අසාධාරණයක් සිදුවන බවයි.
කෙසේ වෙතත් මෙම වසරට නියමිත ජාතික මහ ක්‍රීඩා උළෙලේ රට හරහා දිවීම, ඇවිදීම, මැරතන් සහ පාපැදි තරග මේ වසර මුලදී පවත්වා අවසන් කෙරිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.