Last Update  :  2025-07-29 15:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චන්දිමාල්ගේ පිතිහරඹය අපතේ යයි
එල්.පී.එල්. - 2021

චන්දිමාල්ගේ පිතිහරඹය අපතේ යයි

editorial - 2021 දෙසැ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වැනි තරගය ලෙස දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම සහ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් ලකුණක තියුණු ජයක් අත්කර ගැනීමට දඹුල්ල කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටද දඹුල්ල ක්‍රීඩකයෝ සමත් වූ අතර එහිදී ලැබූ පරාජය හේතුවෙන් කොළඹ කණ්ඩායම ලකුණු සටහනේ පතුළටම අද වැටිණ.

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට තරිඳු රත්නායක ප්‍රමුඛ දඹුල්ල පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 137 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ රත්නායක, සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගත්තේ තරගයේ වීරයා බවටද පත්වෙමිනි. කුසල් පෙරේරා (5) කඩුල්ල මුවාකිරීමට හසුකරගත් රත්නායක, නායක ධනංජය ද සිල්වා (33) සහ ශර්ෆේන් රදර්ෆෝඩ්ද (4) පිටියෙන් ඉවත් කරමින් කොළඹ ඉනිම අඩ පණ කළේය.

සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් දිනේෂ් චන්දිමාල්, පන්දු 40 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවි ලකුණු 65 ක් රැස්කළේය. කෙසේ වුවත් චාමික කරුණාරත්න යැවූ අවසන් ඕවරයේදී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 13 ලබාගැනීමට චන්දිමාල් අසමත් විය. එහිදී හතරේ පහර 2 ක් සමග ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි. සිය කණ්ඩායම ජයග්‍රහණය කරවීමට සඳහා චන්දිමාල්ට අවසන් පන්දුවේදී හයේ පහරක් එල්ල කිරීමට සිදු වුවත්, එහිදී ඔහු එල්ල කළ පහරින් ඇදී ගිය පන්දුව එක්වරක් බිම පතිත වී හතරේ සීමාව පසුකර යෑමත් සමග කොළඹ කණ්ඩායමේ බලාපොරොත්තු සුන්විය.

පිතිකරුවන් 7 දෙනෙක්ම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් මත්තෙන් දැවී යෑම කොළඹ කණ්ඩායමට විශාල පාඩුවක් විය. එහිදී කොළඹ කණ්ඩායමේ පිතිකරුවන් මෙල්ල කිරීම සඳහා දඹුල්ල කණ්ඩායමේ නායක දසුන් ශානක දඟ පන්දු යවන්නන් සිවුදෙනෙකුගේ සේවය ලබාගත් අතර ඔවුන් සිවුදෙනා යැවූ ඕවර 15 දී කොළඹ පිතිකරුවන්ට ලබාගත හැකි වූයේ ලකුණු 79 ක් පමණි. කොළඹ ඉනිමේ බිඳ වැටුණ කඩුලු 8 න් 6 ක්ම දඟ පන්දු යවන්නන් සිවුදෙනා අතරේ බෙදී ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල ක්‍රීඩකයෝ ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 138 ක් ලබාගත්හ. එහිදී ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 16 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 30 ක් රැස්කිරීමට සමත් විය. සෙසු ආරම්භක පිතිකරුවා වූ පිලිපි සෝල්ට් පන්දු 18 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 21 ක්ද, ෂොයිබ් මක්සූද් පන්දු 22 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 24 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

මෙවර තරගාවලියේදී සිය පළමු තරගයට ක්‍රීඩා කළ ජෙෆ්රි වැන්ඩසේ එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 25 කට කඩුලු 3 ක් බිඳහෙළුවේය. දඹුල්ල පිතිකරුවන් පීඩනයට පත්කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් රවී රාම්පෝල් කඩුලු 3 දවාගත්තේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 27 ක් ලබාදෙමිනි. සිය ඕවර 4 ලකුණු 17 කට සීමා කළ සීක්කුගේ ප්‍රසන්න එහිදී කඩුලු 2 ක් බිඳහෙළීමට සමත් විය.  

දඹුල්ල ජයන්ට්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 139

(නිරෝෂන් දික්වැල්ල 30, පිලිප් සෝල්ට් 21, ෂොයිබ් මක්සූද් 24, දසුන් ශානක 16, ජෙෆ්රි වැන්ඩසේ 25/3, රවී රාම්පෝල් 27/3, සීක්කුගේ ප්‍රසන්න 17/2)

කොළඹ ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 8 කට 137

(ධනංජය ද සිල්වා 33, දිනේෂ් චන්දිමාල් නොදැවි 65, තරිඳු රත්නායක 18/3, ඉම්රාන් තාහීර් 19/2)

 


අදහස් (0)

චන්දිමාල්ගේ පිතිහරඹය අපතේ යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.