Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාලු පිලට කඩුලු 4 ක ජයක්
එල්.පී.එල්. - 2021

ගාලු පිලට කඩුලු 4 ක ජයක්

editorial - 2021 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

පිතිකරුවන්ගේ සහ පන්දු යවන්නන්ගේ දක්ෂතාවය හේතුවෙන් කැන්ඩි වොරියර්ස් පිලට එරෙහිව ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ 5 වැනි තරගය කඩුලු 4 කින් ජය ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය ගෝල් ග්ලැඩියේටර්ස් පිල ඕවර 19.2 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය.

ආරම්භක පිතිකරුවන් වූ ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් (16) එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 45 කදී ලකුණු 62 ක් සම්බන්ධතාවයක් ගොඩනගමින් සාර්ථක ආරම්භයක් ලබාදීමට සමත්වූහ. 

ධනුෂ්ක ගුණතිලක පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 45 ක් ලබාගත් අතර වේගවත් පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 13 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 22 ක් ලබාගැනීමට සමත්විය.

ලකුණු 118 කට කඩුලු 6 ක් දැවී තිබියදී 7 වැනි කඩුල්ල සඳහා එක්වූ ළහිරු මදුශංක සහ ධනංජය ලක්ෂාන් පන්දු 10 කදී ලකුණු 29 ක් ලබාගනිමින් ගෝල් ග්ලැඩියේටර්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. ළහිරු මදුශංක පන්දු 13 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 22 ක් ලබාගත් අතර ධනංජය ලක්ෂාන් පන්දු 4 කදී හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 10 ක් ලබාගත්තේය.

කැන්ඩි වොරියර්ස් පිලේ නායක ඇන්ජලෝ පෙරේරා පන්දු යවන්නන් 8 දෙනෙකු යොදාගත්තද ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ ජයග්‍රහණය වලකාලීමට අපොහොසත් වූහ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කැන්ඩි වොරියර්ස් පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.

අහ්මඞ් ශෙෂාඞ් සහ කමිඳු මෙන්ඩිස් එක්ව තෙවැනි කඩුල්ල සඳහා පන්දු 56 කදී ලකුණු 83 ක සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් කැන්ඩි වොරියර්ස් පිලට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට තිබූ අවස්ථාව ගිලිහි ගියේය.

අහ්මඞ් ශෙෂාඞ් පන්දු 51 කදි හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 56 ක් ලබාගත් අතර කමිඳු මෙන්ඩිස් පන්දු 25 කදි හතරේ පහර 4 ක් සමගින් ලකුණු 32 ක් ලබාගත්තේය.

සෙසු පිතිකරුවන් අසාර්ථක වනවිට පසුපෙළ පිතිකරුවකු වූ තිලකරත්න සම්පත් පන්දු 9 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 19 ක් රැස්කරමින් අවසන් ඕවරයේදී සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ සමිත් පටෙල් සිය ඕවර 4 ලකුණු 13 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත් අතර ධනංජය ලක්ෂාව් ඕවර 2 ක් යවමින් ලකුණු 11 කට කඩුලු 2 ක් දවාගත්තේය.

තරගයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ ධනංජය ලක්ෂාන්ට හිමිවිය.

කැන්ඩි වොරියර්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 143
(අහ්මඞ් ශෙෂාඞ් 56, කමිඳු මෙන්ඩිස් 32, තිලකරත්න සම්පත් නොදැවී 19, සමිත් පටෙල් 13/3, ධනංජය ලක්ෂාන් 11/2)

ගෝල් ග්ලැඩියේටර්ස් - ඕවර 19.2 කදී කඩුලු 6 ක් දැවී 147
(ධනුෂ්ක ගුණතිලක 45, භානුක රාජපක්ෂ 22, ළහිරු මදුශංක නොදැවී 22, සචිඳු කොළඹගේ 20/3)

 


අදහස් (0)

ගාලු පිලට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.