Last Update  :  2025-06-28 12:09:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගාල්ල ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි
ගාල්ල ටෙස්ට් තරගය

ගාල්ල ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

editorial - 2025 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ සිට..)

බංග්ලාදේශ පන්දු යවන්නෝ දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා පිති්කරුවන් තදබල පීඩනයකට ලක්කළහ. එහෙත් එම පීඩනය පවත්වාගනිමින්, තරගයේ විසඳුමක් ලබාගැනීමට කාලය ප්‍රමාණවත් නොවීම නිසා ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරව අවසන් විය. තරගයේ අවසන් දිනය වූ අද (21 වැනිදා), ඕවර 37 කදී ලකුණු 296 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය නතර කිරීමට පෙර ලබාගත හැකිවූයේ කඩුලු 4 ක් දැවී ලකුණු 72 ක් පමණි. 

පළමු තරගය ජය පරාජයෙන් තොරව නිමා වූයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග දෙකකින් සමන්විත තරගාවලිය විවෘත බවට පත්කරමිනි. ලෝක ටෙස්ට් ශූරතාවලියේ 2025 - 2027 චක්‍රය ආරම්භ කරමින් පැවැති පළමු වැනි තරගය ද මෙයයි. 

දෙවැනි ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 37 කට මුහුණ දිය යුතුව තිබිණ. ලකුණක පරතරයක් ඇතිව ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනානාම දැවීයාමත්, 24 වැනි ඕවරයේදී සිව්වැනි කඩුල්ලත් බිඳ වැටුණු බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම සෑහෙන පීඩනයකට ලක්විය. 

ඕවර 13 ක් ඉතිරිව තිබියදී කණ්ඩායම බේරා ගැනීමට ඉදිරිපත් වූ කමිඳු මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දෙදෙනා අවසන් ඕවර 5 දක්වා තරගය ඇදගෙන ගියහ. ධනංජයගේ උඩපන්දුවක් රැකගත් බවට කළ ඉල්ලීම තුන්වැනි විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමත් සමගම බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් තරගය නැවැත්වීමට කැමැත්ත ප්‍රකාශ කළේය. 

දිනය ආරම්භයේදීම ඇති වූ ප්‍රශ්නය වූයේ බංග්ලාදේශය ඔවුන්ගේ ඉනිම අවසන් කරන්නේ කොතැනින්ද යන්නයි. නැතහොත් බංග්ලාදේශයේ කඩුලු කීයක් දවාගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පුළුවන් වේද යන්නයි. එහෙත් ඒ ප්‍රශ්න දෙකම පැත්තකට දමමින්, වර්ෂාව මාතෘකාව බවට පත්විය.  

වර්ෂාව ආරම්භ වන විට මුෂ්ෆිකුර් රහීම් දුවද්දී දැවී ගියා පමණි. ඒ වන විට  බංග්ලාදේශය කඩුලු 4 කට ලකුණු 237 ක් ලබා සිටි අතර බංග්ලාදේශයේ වාසිය ලකුණු 247 ක් විය. උදෑසන 11.05 නතර  කළ තරගය පස්වරු 12.30 ට ආරම්භ කිරීමට නියමිතව තිබිණ. 

 උදෑසන 11.05 ආරම්භ වූ වර්ෂාව එතරම් ප්‍රශ්නයන් නොවීය. ක්‍රීඩාංගණය වසා දැමීම නිසා වේලාසනින් දිවා ආහාරය ගත් ක්‍රීඩකයෝ පස්වරු 12.30 ට තරගය යළි ආරම්භ කිරීමට සූදානම් වූහ. එහෙත් හරියටම මධ්‍යාහ්න 12.00 ට නැවතත් පැමිණි වර්ෂාව හේතුවෙන් තරගය ආරම්භ කිරීම පස්වරු 2.10 දක්වා කල් දමන ලදි. 

දෙවැනි වරටත් පැවැති වර්ෂාව නතර වීමෙන් පසුව පස්වරු 2.10 ට තරගය ආරම්භ කෙරිණ. තරගය ආරම්භ වීමෙන් පසුව, බංග්ලාදේශ නායක නජ්මුල් හොසේන් සිය ශතකය කරා ගියේය. වර්ෂාව පැමිණීමට පෙර නොදැවී ලකුණු 89 ක් ලබා සිටි නජ්මුල් හොසේන්, ඉතිරි ලකුණු 11 ලබාගැනීම සඳහා විනාඩි 33 ක කාලයක් ගත්තේය. 

මෙම තරගයේදී පිට පිටම ලබාගත් දෙවැනි ශතකය වෙනුවෙන් නජ්මුල් හොසේන් විනාඩි 260 ක් තිස්සේ පන්දු 190 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් ඊට ඇතුළත් කළේය. 
එහෙත් ශතකය ලබාගැනීමෙන් පසුව හයේ පහර තුනක් ගැසූ නජ්මුල් එතැනින් සිය ඉනිම අවසන් කළද ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබුණේ ප්‍රායෝගිකව යා හැකි ඉලක්කයක් නොවේ. 
ටෙස්ට් තරගයක පවතින තත්ත්වයන් අනුව ඕවරයකදී ලකුණු 8 ක් බැගින් ලබාගනිමින්, ඕවර 37 ක් පුරා පන්දුවට පහරදීම පරාජයට අත වැනීමකි. එබැවින් ශ්‍රී ලංකා පිතිකරුවෝ ඉලක්කය කරා යාම අතහැර තරගය බේරාගැනීමට ඉදිරිපත් වූහ. 

ලෝක ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ශතක යුගළයක් බැගින් ටෙස්ට් තරග දෙකකදී ලබාගත් පිතිකරුවන් අතර 15 වැනියා වන නජ්මුල් හොසේන් එකම තරගයක ඉනිම දෙකේදීම ශතක ලබාගත් දෙවැනි බංග්ලාදේශ ජාතිකයාය. මොමිනුල් හක් පළමුවැන්නා විය.

 

 

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)


අදහස් (0)

ගාල්ල ටෙස්ට් තරගය ජය පැරදුමෙන් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.