Last Update  :  2024-04-25 14:53:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කුසල් - ධනුෂ්ක - දික්වැල්ලගෙන් අභියාචනා

කුසල් - ධනුෂ්ක - දික්වැල්ලගෙන් අභියාචනා

editorial - 2021 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


 

(චම්පික ප්‍රනාන්දු)

විනය කඩකිරීම හේතුවෙන් මේ වන විට ක්‍රිකට් තහනමකට මුහුණ දී සිටින කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල තිදෙනාම තමන්ට පනවා ඇති තහනම සහ දඩ සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.

එංගලන්ත සංචාරයේදී ජෛව ආරක්‍ෂිත බුබුල බිඳීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ මෙම ක්‍රීඩකයන් තිදෙනාටම වසරක අන්තර්ජාතික තරග තහනමක් පනවා තිබේ. ඊට අමතරව මාස 6 ක දේශීය තරග තහනමක් පනවා ඇති අතර එක් අයකු සඳහා රුපියල් කෝටියක දඩ මුදලක්ද නියම කර තිබේ. මේ සියල්ලට අමතරව තවත් වසර දෙකක අත්හිටවූ තරග තහනමක්ද ඔවුන්ට නියම කර තිබේ.

කෙසේ වෙතත් ඔවුන්ට පනවා ඇති තහනම සහ දඬුවම්, විනය පරීක්‍ෂණ කමිටුවෙන් කළ නිර්දේශ තරම් දැඩි නොවේ. ඔවුන්ගේ හැසිරීම සහ චර්යා රටාවන් ක්‍රීඩාව මෙන්ම රටේ කීර්ති නාමයත් අගතියට පත්කර ඇති බැවින් විනය කමිටුව විසින් නිර්දේශ කරන ලද්දේ වසර 2 ක අන්තර්ජාතික තරග තහනමක් සහ ඇමරිකානු ඩොලර් 25,000 ක දඩමුදලකි.

ඒ කෙසේ වෙතත් දැන් තිදෙනාටම ඕනෑ කරන්නේ තමන්ට පනවන ලද තහනම ළිහිල් කරගැනීමටය. ඒ ඔවුන්ගේ දේශීය තරග හැකි ඉක්මනින් ආරම්භ කිරීමේ අදහස් ඇතිවය.

කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනා පසුගිය 9 වැනිදා තමන්ගේ අභියාචනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉදිරිපත් කළහ. නිරෝෂන් දික්වැල්ල, එයින් දින 3 කට පසුව, අගෝස්තු 12 වැනිදා සිය අභියාචනය ඉදිරිපත් කර ඇත.

මේ වන විටත් ඔවුන්ට තරග කිහිපයක්ම මඟහැරී ඇති අතර නිසැක වශයෙන්ම මේ වසරේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ඔවුන්ට අහිමි වනු ඇත. තමන්ගේ නොමනා ක්‍රියාවෙන් සිදුවූ හානියත්, ඒ වෙනුවෙන් ගෙවන්නට සිදුවූ වන්දියත් ඔවුන් මේ වන විට හොඳින්ම වටහාගෙන සිටිති. ක්‍රීඩා අමාත්‍යංශය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද තිදෙනාගේ අභියාචනා පිළිගෙන ඇතත් ඒවා විභාග කෙරෙන දිනයක් ගැන තවම කතාවක් නැත.

ඔවුන් තිදෙනා තහනමට ලක්වූයේ සිය ක්‍රිකට් ජීවිතයේ සන්ධිස්ථාන පසුකරමින් සිටි අවධියකය. කුසල් මෙන්ඩිස් කණ්ඩායමේ උපනායකයා ලෙසින් නම්කළ තේරීම් කමිටු සාමාජිකයෝ ඔහුට වැඩි වගකීමක් පැවරුවේ වඩාත් යහපත් ප්‍රතිඵළ අපේක්‍ෂාවෙනි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ සියලුම වයස් කාණ්ඩයන්හි නායකත්වය දැරූ නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා 19 න් පහළ පිලේත් නායකත්වය දැරූ අතර නායකත්වයේ ඔටුන්න අනාගතයේදී ඔහුට හිමිවන්නට බොහෝ ඉඩකඩ තිබිණ.

ධනුෂ්ක ගුණතිලක පිතිකරුවකු වශයෙන් පමණක් නොව අති දක්‍ෂ පන්දු රකින්නකු වශයෙන්ද වැඩි දෙනාගේ අවධානය දිනාගත් නමුත් පිටියෙන් පිටතදී ඔහුගේ හැසිරීම ප්‍රශ්නකාරී වූයේය. ඔහු බොහෝ අවස්ථාවලදී ප්‍රශ්න වලට මැදිව තිබිණ. 2018 දී ඔහු තරග 6 ක තහනමකට මුහුණ දුන්නේ නියමිත වේලාවේදී කාමරයේ නොසිටීම හේතුවෙනි. මේ වසරේ අප්‍රේල් මාසය තරම් මෑතකදී ඔහුව මානසික උපදේශනය සඳහාත් යොමුකරන ලදි. ඊට පසුබිම් වූයේ මාතර හෝටලයකදී ඇතිවූ සිදුවීමකි.

වසරකට පෙරදී කුසල් මෙන්ඩිස් විසින් පදවන ලද වාහනයකට යටවීමෙන් 64 හැවිරිදි පාපැදිකරුවෙක් මියගියේය. ඒත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ ගැන ඇසිපිය හෙළුවේත් නැත.
 
මේ අතරවාරයේදී මෙම ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව අතහැර, ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා ඇමරිකාවට යාමට සූදානම් වන්නේ යයි පැතිර යන කටකතා සම්බන්ධයෙන් ඔවුන්ගේ ඒජන්තයෝ (නියෝජිතයෝ නොහොත් කළමණාකරුවෝ) සමච්චල් කරති.

“එයා (දික්වැල්ල) කරපු දේ ගැන එයා කණගාටු වෙනවා” යයි නිරෝෂන් දික්වැල්ලගේ නියෝජිතයා වන අමිල කළුගලගේ මහතා කියයි.

“කෝක වුණත්, එයාගේ එකම උත්සාහය නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමයි. ඒ වෙනුවෙන් සාර්ථක පුනරාගමනයක යෙදීමට එයා බලාපොරොත්තුවෙන් ඉන්නවා... ඒ නිසා තමයි එයා අභියාචනයක් ඉදිරිපත් කරලා තියෙන්නේ... එයා ක්‍රිකට් ගහන්න බලාගෙන ඇමරිකාවේ පදිංචියට යනවා කියන කතාවේ කිසිම ඇත්තක් නෑ” යයි ද අමිල කළුගලගේ මහතා පැවසීය.

මේ අතර දික්වැල්ලගේ ඇමරිකානු වීසා සම්බන්ධයෙන් කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විමසීමක් කර ඇති බවද කළුගලගේ මහතා පිළිගත්තේය. ඒ ඔහු බටහිර ඉන්දීය දූපත් බලා යාමට ලබාගත් වීසා සම්බන්ධයෙනි. කෙසේ වෙතත් සියලුම ක්‍රීඩකයන්ගේ වීසා සම්බන්ධයෙන් එක්සත් ජනපද තානාපති කාර්යාලය විමසා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කළේය.

කුසල් මෙන්ඩිස් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනාගේම කළමණාකරු වන්නේ අසංක විජේවර්ධන මහතාය. විජේවර්ධන මහතා කියන්නේත් රට හැර යාමට තමන්ගේ සේවාදායකයන්ගේ කිසිදු අදහසක් නැති බවයි.
“ඒ ගොල්ලන්ට ඕනේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන්නයි” ඔහු කීවේය.

“අපට මේ තහනම අඩුකරගන්න ඕනේ. එතකොට එයාලට පුළුවන් ඉක්මනින්ම දේශීය ක්‍රිකට් තරගාවලියට එක්වෙන්න. ඒ ගොල්ලන් මේ වෙනකොටත් එයාලගේ වැරදි ක්‍රියාමාර්ග වෙනුවෙන් විශාල වන්දියක් ගෙවලා තියෙනවා. ඒත් එයාලගේ දක්‍ෂතා සලකලා බලලා මේ අභියාචනා වෙනුවෙන් සාධාරණව සලකා බලන්නයි කියන එක තමයි අපේ ඉල්ලීම” යයි ද විජේවර්ධන මහතා පැවසීය.

 

 


අදහස් (1)

කුසල් - ධනුෂ්ක - දික්වැල්ලගෙන් අභියාචනා
  • පියුමාල් Monday, 23 August 2021 12:02 AM

    දක්ෂතා දක්වලා තියනවා විනය කඩකරලා. ඒජන්තයින්ට දැන්පාඩු ඇති 10% කොමිෂන් නැති නිසයි. ඒකයි අරවා මේවා කියලා ඇතුළට රිංගවන්න හදන්නේ... මේ අයව අයින් කළාට පස්සේ හොඳ ටීම් එකක් හැදීගෙන එනවා. ඒ ගොල්ලෝ ටිකත් විනාශ කරන්නේ නැතුව මොවුන් එළියේම තියලා තියන්න...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.