
(නාමල් පතිරගේ)
ටෝකියෝ ‘පැරලිම්පික්’ උළෙලේදී රන් පදක්කමක් දිනාගත් දිනේෂ් ප්‍රියන්ත හේරත් හා ලෝකඩ පදක්කමක් දිනාගත් සමිත දුලාන් හෙට්ටිආරච්චි ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා රුපියල් කෝටි 10කට වැඩි (මිලියන 106 ක්) වන ත්‍යාග මුදලක් අනුමත කිරීමට කැබිනට් මණ්ඩලය අද (7) තීරණය කළේය. මෙම ප්‍රදානයන් යටතේ රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත හේරත්ට රුපියල් කෝටි පහක ත්‍යාග මුදලක් අනුමත කර තිබේ. ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන්ට කැබිනට් මණ්ඩලයේ අනුමත වූ මුදල රුපියල් කෝටියකි.
කැබිනට් මණ්ඩලයෙන් අනුමත වූ ඉහත සඳහන් ත්‍යාග මුදල් හිමිවන්නේ පැරලිම්පික් පදක්කම්ලාභීන් දෙදෙනාට ක්‍රීඩා අමාත්‍යාංශය විසින් තිළිණ කරනු ලබන රුපියල් කෝටි පහක් හා කෝටි දෙකක මුදල් ත්‍යාග වලට අමතරවය. පුහුණුකරු ප්‍රදීප් නිශාන්ත මහතාටද රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක් වන ත්‍යාග මුදලක් ක්‍රීඩා අමාත්‍යංශයෙන් අනුමත කරනු ලැබ තිබිණ.
ඊට අමතරව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අනුව ටෝකියෝ පැරලිම්පික් උළෙලට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා පුහුණුකරුවන් සියලු දෙනාටද මුදල් ත්‍යාග හිමි වේ.
පසුගිය ඉරිදා (5) නිමාවට පත්වූ ටෝකියෝ පැරලිම්පික් උළෙලේදී රන් පදක්කමක් හා ලෝකඩ පදක්කමක් ලද ශ්‍රී ලංකාව, එහි පදක්කම් සටහනේ 57 වැනි ස්ථානය ලැබීය. එහිදී හෙල්ල විසිකිරීම ඉසව්වකින් දිනේෂ් ප්‍රියන්ත හේරත් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වූයේය.
පැරාලිම්පික් ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍යාග මුදල් අනුමත කිරීමේදී ලෝක වාර්තාලාභී දිනේෂ් ප්‍රියන්තට ඒ වෙනුවෙන් තවත් රුපියල් කෝටියක මුදලක් වෙනම අනුමත කර තිබේ.
ටෝකියෝ පැරාලිම්පික් උළෙලට සහභාගි වූ සමස්ත ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකුගෙන්, පුහුණුකරුවන් හය දෙනකුගෙන් හා පරිවාර නිලධාරීන් සිව් දෙනකුගෙන් සමන්විත (මුළු එකතුව 19) විය. මෙහිදී මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ ප්‍රදීප් නිශාන්ත, හරිජන් රත්නායක හා සජිත් ජයලාල් යන මහත්වරුන්ටත්, ටෙනිස් ක්‍රීඩකයාගේ පුහුණුකරු ජගත් වැලිකල මහතා සහ ඔරු පැදීමේ පුහුණුකරු ලසන්ත වැලිකල මහතා සහ දුන්නෙන් විදීමේ පුහුණුකරු මේජර් ජනරාල් රජිව් වික්‍රමසිංහ යන මහත්වරුන්ටද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පරිදි රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් ත්‍යාග ලෙස බෙදා දීමට නියමිතය.
පැරාලිම්පික් ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ මේජර් ජනරාල් රාජිත අම්පෙමොහොට්ටි මහතාය. මෙම සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායම සමග ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති දීපාල් හේරත්, එහි ලේකම් බන්දුල බණ්ඩාර හා කණ්ඩායමේ කොවිඩ් අධීක්ෂණ කටයුතු බාර නිලධාරියා ලෙස බ්රිගේඩරියර් ධනංජය අඹදෙණිය යන මහත්වරු ද සහභාගි වූහ.
කැබිනට් මණ්ඩලයේ ගෙවීම් යටතේ ශ්‍රී ලංකා යගුලිය විසිකිරීමේ ක්‍රීඩක පාලිත බණ්ඩාර හල්වලගේට රුපියල් ලක්ෂ 25ක් ප්රදානය වන්නේ ඔහු ඉසව්වේ පස්වැනි ස්ථානය ලැබීමෙනි. එහිදී සමිත දුලාන් ලෝකඩ පදක්කම දිනාගත් ඉසව්වටම තරග වැදීමෙන් 9 වැනි ස්ථානයට පත් චමින්ද සම්පත් හෙට්ටිආරච්චිට රුපියල් මිලියනයක් හිමි වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.