Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩා අමාත්‍යංශය නිදිමතේ

ක්‍රීඩා අමාත්‍යංශය නිදිමතේ

editorial - 2022 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇල්මැරුණු හැසිරීම නිසා ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ කටාර් සංචාරය ප්‍රමාදය කිරීමට සිදුව ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා කොළඹ ‘පාපන්දු නිවසේ’ ඊයේ (20) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී පැවසීය.

ශ්‍රී ලංකාවේ පුහුණුකරුවන් වශයෙන් වැඩ  බාර ගත් ජාතික පාපන්දු උපදේශකවරුන් වන ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් හා සහය උපදේශක බ්‍රිතාන්‍ය ජාතික කිත් ස්ටීවන් හා ශාරීරික අභ්‍යාස පුහුණුකරු ලෙස සේවය බාර ගත් බ්‍රසීල ජාතික මාකොස් පෙරෙයිරා යන මහත්වරුන් හඳුන්වාදීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි. ඔවුන්ගේ පුහුණු  උපදේශකත්වය යටතේ ශ්‍රී ලංකාව ජුනි 8 වැනිදා උස්බෙකිස්ථානයේ දී ආරම්භ වන ආසියානු කුසලාන (2023) සුදුසුකම් ලැබීමේ තෙවැනි තරග වටයට සහභාගිවීමට සූදානම්ව සිටියි.

ඒ සඳහා පෙර සූදානමක් ලෙස ජාතික පාපන්දු සංචිතය ලබන ඉරිදා (22) වන විට කටාර් රාජ්‍යය බලා පිටත්ව යාමට සූදානමින් සිටියේය. ඒ සඳහා පහසුකම් සැලසීමට කටාර් ජාතික පාපන්දු සංගමය ඉදිරිපත්ව සිටියි. එහිදී කටාර් රාජ්‍යයේ පුහුණුවීම්වලින් පසුව කෙළින්ම එහි සිට ආසියානු කුසලාන තෙවැනි තරග වටයට සහභාගිවීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නව පුහුණු උපදේශකවරුන් හඳුන්වාදීමේ මාධ්‍ය හමුවේ දී පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා මෙසේද පැවසීය.

‘‘ආසියානු කුසලාන තරග වටයට  කලින් කටාර් රාජ්‍යයේ පුහුණු තරග සංචාරයට යන්න අපට තවත් ඉතිරි වෙලා තිබෙන්නේ දවස් කීපයක් විතරයි. ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අනුමැතිය ගන්න මේ කතා කරන මොහොත වන විටත් බැරිවෙලා තිබෙනවා. ඒකට හේතුව විවිධ හේතුන් කියමින් ක්‍රීඩා අමාත්‍යාංශය අනුමැතිය ප්‍රමාද කිරීමයි. මෙච්චර නිලධාරීන් යන්නේ ඇයි කියලා අපෙන් අහනවා“

“හැබැයි අපි ශ්‍රී ලංකා කණ්ඩායමට නිර්දේශ කරපු ඒ නිලධාරීන් හැමදෙනාට වගකීම් පවරලා තිබෙනවා. ඒ වගේම ඒ සමහර නිලධාරීන්ට තමන්ගේ වගකීම් ඉටු කරලා අවසන් කරපු හැටියේ කණ්ඩායමේ රැඳෙන්නේ නැතිව නැවත ශ්‍රී ලංකාවට එන්නත් පුළුවන්’’

“අපි කවුරුත් දන්න දෙයක් රටේ ඇතිවෙලා තිබෙන තත්ත්වය“

“වගකීම් ගන්න ක්‍රීඩා අමාත්‍යාංශයේ මේ වෙලාවෙ ඇමැතිවරයෙක් පවා නෑ. ඩොලර් ප්‍රශ්නය ඉහළින්ම තිබෙනවා. රටේ ක්‍රීඩකයන්ට පහසුකම් නැති වෙන තත්ත්වයක් දැන් ඇති වෙලා තිබෙන්නෙ. එහෙම තිබියදීත් පාපන්දු ආයතනයේ සභාපතිවරයා හැටියට මම කටාර් රාජ්‍යයට කතා කරලා නොමිලේ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගන්න පහසුකම් ටික අද ප්‍රයෝජනයට ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා.“

“අපිට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණොත් අඩු තරමින් ලබන ඉරිදා (22) වනකොට ජාතික පාපන්දු සංචිතය කටාර් රාජ්‍යයට පිටත්කර අරින්න අපි සූදානමෙන් සිටිනවා.“ යයි ද ජස්වර් උමාර් මහතා පැවසීය.

මේ අතර ආසියානු කුසලාන තෙවැනි වටයට විදේශීය පුහුණුකරුවන් තිදෙනකු යටතේ සූදානම් වන ශ්‍රී ලංකාව මේ වනවිට ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව රටවල් 46 කින් 45 වැනි ස්ථානයේ සිටී. ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව නම් ශ්‍රී ලංකාව ලබා සිටින්නේ රටවල් 211 කින් 205 වැනි ස්ථානයයි.

ආසියානු කුසලාන තෙවැනි වටයේදී ශ්‍රී ලංකාවට මුණගැසෙන සත්කාරක උස්බෙකිස්ථානය ආසියානු ශ්‍රේණිගත කිරීම අනුව 11 වැනි ස්ථානයේ  හා ලෝක  ශ්‍රේණිගත කිරීම් අනුව 83 වැනි ස්ථානයේ රැඳී සිටියි.

දකුණු ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන මාලදිවයිනද මම තරග වටයේදී ශ්‍රී ලංකාවට මුණගැසේ. මාලදිවයින ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව  31 වැනි ස්ථානයේද ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව 156 වැනි ස්ථානයේද සිටී. තායිලන්තය ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව රැඳී සිටින්නේ  21 වැනි ස්ථානයේයි. 111 වැනි ස්ථානය ඔවුන් ලෝක ශ්‍රේණිගත කිරීම්හි මේ වනවිට හිමිව තිබේ.

 ආසියානු කුසලාන (2023) තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තරග
♦ ජුනි 8 - උස්බෙකිස්ථානයට එරෙහිව
♦ ජුනි 11- තායිලන්තයට එරෙහිව
♦ ජුනි 14 - මාලදිවයිනට එරෙහිව


මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා පාපන්දු සභාපති ජස්වර් උමාර් මහතා අදහස් දැක්වූ අයුරු. ස්කොට්ලන්ත ජාතික පාපන්දු උපදේශක ඇන්ඩි මොරිසන් හා සහය (ගෝල් රකින්නන්ගේ) පුහුණු උපදේශක බ්‍රිතාන්‍ය ජාතික කිත් ස්ටීවන්ස් යන මහත්වරුද මෙහි වෙති.  


අදහස් (0)

ක්‍රීඩා අමාත්‍යංශය නිදිමතේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.