Last Update  :  2025-08-06 17:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩකයෝ සංචාරයට එකඟ වෙති

ක්‍රීඩකයෝ සංචාරයට එකඟ වෙති

editorial - 2021 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වාර්ෂික ගිවිසුමත් සංචාර කොන්ත්‍රාත්තුවත් යන දෙකම අත්සන් කිරීම පසුවට කල් දැමූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ එංගලන්ත සංචාරය සඳහා සහභාගි වීමට අද (07) පස්වරැවේ එකඟ වූහ. ඔවුන් එසේ එකඟ වී ඇත්තේ ‘සංචාරයේ ප්‍රකාශය‘ යනුවෙන් හැඳින්වෙන, වෙනත් ආකාරයේ ලියවිල්ලකට අත්සන් තැබීමේ පොරොන්දුව මතය.

මෙම ලියවිල්ලට ඇතුළත් වන්නේ කළමණාකරැගේ නියෝගයන්ට අනුගත වීම, මාධ්‍ය වලට ප්‍රකාශ නිකුත් නොකිරීම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සපයනු ලබන ඇඳුම් ආයිත්තම් වලින් සැරසීම වැනි සරළ වගන්ති කිහිපයක් පමණක් බවද දැනගන්නට තිබේ.

ගෙවීම් සම්බන්ධ කිසිවක් ඊට ඇතුළත් නොවන නමුත් ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග මුදල් ගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු එකඟ වී සිටිති. එලෙසින්ම කණ්ඩායම නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසුව ඔවුන්ගේ වාර්ෂික ගිවිසුමට අයත් වගන්ති සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුතුව කරැණු පැහැදිළි කිරීමටද ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් එකඟ වී තිබේ.

ක්‍රීඩකයන් එක් එක් කාණ්ඩ වලට තෝරාගන්නා ලද ආකාරය සම්බන්ධයෙන්ද ක්‍රීඩකයන්ට කරැණු පහදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් ලිඛිතවම පොරොන්දු වී තිබේ.

මෙම පොරොන්දු සම්බන්ධයෙන් මැදිහත්කරැ ලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් කළමණාකරැ මනුජ කාරියප්පෙරැම මහතා කටයුතු කරන බවත් ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් ක්‍රීඩකයන් අතර කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ පෙරවරැවේ සිටම පැවැති උණුසුම් වාද විවාදවලින් පසුව ක්‍රීඩකයෝ මෙම එකඟතාවට පැමිණියහ.  

වාර්ෂික ගිවිසුම අත්සන් කිරීම පසුවට කල් තියා එංගලන්ත සංචාරයට යාමට පෙර සංචාර ගිවිසුම අත්සන් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු ක්‍රීඩකයන්ගෙන් ඉල්ලා සිටියහ.  ඒ වෙනුවෙන් විශේෂයෙන්ම සකස් කළ ගිවිසුමක් පෙරේදා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට දී ඇතත් ක්‍රිකට් ක්‍රීඩකයෝ ඊයේ දහවල් වන රැත් ඊට අත්සන් නොකළහ‍.

දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙමින් තිබියදී “මේකට අත්සන් කරන්න බැරි අයට මෙතැනින් යන්න පුළුවන්* යයි ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරියෙක් පැවසීය. ඒ අනුව ක්‍රීඩකයක් කිහිප දෙනකු එතැනින් ඉවත්ව ගිය අතර පසුව ඔවුන්ට හෝටලයෙන්ද පිටත්ව යන ලෙස තවත් නිලධාරියකු පැවසීම නිසා තත්ත්වය වඩාත් උණුසුම් අතට හැරිණ.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී මැදිහත්කරැවා වූ කළමණාකරැ මනුජ කාරියප්පෙරැම මහතා තත්ත්වය පාලනය කරගනිමින් ‘සංචාරයේ ප්‍රකාශය^ යනුවෙන් හැඳින්වෙන ලියවිල්ලකට අත්සන් තැබීමට ක්‍රීඩකයන් කැමතිකරවාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ එංගලන්ත සංචාරය වැනි වැදගත් සංචාරයක් අතළඟ තියෙද්දී ක්‍රීඩකයන්ගේ මෙම හැසිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බවයි.

“මේ තරගාවලියට යන්න බැරි වුණොත් එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය අපෙන් හිතාගන්න බැරි තරම් විශාල වන්දියක් ඉල්ලාවි. මොකද මේ වෙලාවේ ඒ ගොල්ලන් රෑපවාහිනී සමාගම් වලට බ්‍රිතාන්‍ය පවුම් මිලියන ගානකට මේ සංචාරය අළෙවි කරලයි තියෙන්නේ... ඉතින් ඒ වගේ වන්දියක් ගෙවන්න වුණොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත් වෙනවා.. ඒ නිසා අපි මේ තරගාවලියට යන්නම ඕන* යයි කී එම නිලධාරියා...

“මේ තත්ත්වය දන්නා නිසා ක්‍රීඩකයන් හදන්නේ සංචාරය ඇපයට තියලා බොර දියේ මාළු බාන්න* යයිද පැවසීය.

තත්ත්වය සම්බන්ධයෙන් සිය නම හෙළිදරව් නොකිරීමේ පදනම මත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයකු කියා සිටියේ ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ පදනම ඉතාමත් අපහැදිළි බවයි.

“අපි මුල ඉඳන්ම කිව්වේ ක්‍රීඩකයන් එක එක්කෙනා එක එක කැටගරිවලට (කාණ්ඩ අනුව බෙදා ඇති අකාරය) දාලා තියෙන විදිය අපිට පහදලා දෙන්න කියලයි. එහෙම කිව්වාම මේගොල්ලෝ ‘වින් බෝනස් එකක්^ (ජයග්‍රහණය සඳහා වන පාරිතෝෂිකයක්) ගැන කියනවා.... *

“වින් බෝනස් එකක් තියන එක හොඳයි... අපිත් කැමතියි.. *

“මොකද ඒකෙන් අපටත් එක්තරා ජවයක් එනවා.. ඒත් මේ ක්‍රීඩකයන් කැටගරි වලට දාලා තියෙන විදිය ගැන පැහැදිළි කරගන්න ඕනා... එහෙම නැතුව අපි දන්නේ කොහොමද අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා.. අනික ශාරීරික යෝග්‍යතාව කියන්නේ ක්‍රිකට් වල සියල්ල නෙමේ... මේවා මේ පිට රටවලින් එන එක එක අයගේ උවමනාවල්* යයිද ඔහු පැවසීය.

ක්‍රීඩකයන් කිසිම විටෙක රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට පසුබට නොවන බවත්, තරග මුදල් නැතිව හෝ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන් සූදානම් බවත් මෙම ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (8 වැනිදා) රාත්‍රියේ එංගලන්තය බලා පියාසර කිරීමට නියමිතය. මෙම සංචාරය සඳහා ක්‍රීඩකයන් 24 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් තෝරාගනු ලැබ ඇත.

 


අදහස් (0)

ක්‍රීඩකයෝ සංචාරයට එකඟ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.