Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කළමණාකරුවන් තවමත් අඳුරේ
ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලිය

කළමණාකරුවන් තවමත් අඳුරේ

editorial - 2021 දෙසැ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

ලබන ඉරිදා (05 වැනිදා) ආරම්භ වන ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලිය පෙර වසරට වඩා බොහෝ වෙනස්කම් වලට ලක්වී තිබේ.

ක්‍රීඩක වෙන්දේසියෙන් ඒ ඒ කණ්ඩායම් 5 ක් සඳහා තෝරාගත් ක්‍රීඩකයන් බොහෝ පිරිසක් මේ වනවිටත් වෙනස්වී ඇත. ඇතැම් කණ්ඩායම් සඳහා තෝරාගත් ක්‍රීඩකයන් කණ්ඩායම් කළමණාකාරීත්වය විසින් කිසිදු හේතුවක් නොමැතිවම ඉවත් කර ඒ සඳහා වෙනත් ක්‍රීඩකයන් ආදේශ කර ඇත. තරගාවලිය ආරම්භවීමට තවත් දින 3 ක් පමණක් ඉතිරිව තිබුණද තවමත් එක් එක් කණ්ඩායම් වල දේශීය මෙන්ම විදේශීය ක්‍රීඩකයන් කවුරුන්ද යන වග කණ්ඩායම් කළමණාකරුවෝත් නොදනිති.

නගර 5 ක් වෙනුවෙන් කණ්ඩායම් 5 ක් පසුගිය තරගාවලියේදී මෙන්ම මෙවරද ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියට එක්ව සිටිති. නමුත් ඉන් කණ්ඩායම් 4 ක හිමිකරුවෝ, කණ්ඩායම් නම් මෙන්ම නිල ලාංඡනද ප්‍රධාන වෙනස්කම් වලට ලක්වී තිබේ.

මෙවර තරගාවලියට තවත් නගරයක් වෙනුවෙන් තවත් කණ්ඩායමක් එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කළද විවිධ හේතූන් මත එය වැලකී ගියේය.

පසුගිය තරගාවලියට එක්වූ ගෝල් ග්ලැඩියේටර්ස් පිල පමණක් හිමිකරු, එහි නාමය සහ කණ්ඩායම් නිල ලාංඡනද ඇතුළුව කිසිම වෙනස්කමක් නොකර මෙවර තරගාවලියට එක්ව සිටින එකම කණ්ඩායමයි. ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ හිමිකාරීත්වය පාකිස්තානු ජාතික ව්‍යාපාරිකයකු වන නදීම් ඕමාර් මහතාට හිමිවේ.

කලම්බෝ ‘කිංග්ස්’ පිල කොලම්බෝ ‘ස්ටාර්ස්’ ලෙසත්, දඹුල්ල ‘වයිකිංග්ස්’ පිල දඹුල්ල ‘ජයන්ට්ස්’ ලෙසත්, ජැෆ්නා ‘ස්ටැලියන්ස්’ පිල ජැෆ්නා ‘කිංග්ස්’ ලෙසත්, කැන්ඩි ‘ටස්කර්ස්’ පිල කැන්ඩි ‘වොරියර්ස්’ ලෙසත් වෙනස් වී තිබේ.

කලම්බෝ ‘ස්ටාර්ස්’ පිලේ හිමිකාරීත්වය අශෝක් පතිරණ මහතාට අයත් සොෆ්ට් ලොජික් සමාගමට හිමිවෙයි. දඹුල්ල ජයන්ට්ස් පිලේ අයිතිය කමාර් ඛාන් මහතාට හිමිය. ජැෆ්නා කිංග්ස් පිලේ හිමිකාරීත්වය සුබාස්කරන් අලීරාජ් මහතාටත්, කැන්ඩි වොරියර්ස් කණ්ඩායම සමහිමිකරුවන් වන රවී ගුප්තා සහ පංකජ් ත්‍රිපාටී මහත්වරුන්ට හිමිව තිබේ.

කලම්බෝ ‘ස්ටාර්ස්’ පිලේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිවුවද බටහිර ඉන්දීය කොදෙව් පිල සමගින් මේ වනවිට පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වීමට නොහැකි තත්වයක් උදාවී ඇත. දසුන් ශානකට දඹුල්ල ‘ජයන්ට්ස්’ පිලේ නායකත්වයත්, භානුක රාජපක්ෂට ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ නායකත්වයත්, තිසර පෙරේරාට ජැෆ්නා ‘කිංග්ස්’ පිලේ නායකත්වයත්, ඇන්ජලෝ පෙරේරාට කැන්ඩි වොරියර්ස් පිලේ නායකත්වයත් හිමිව තිබේ.


අදහස් (0)

කළමණාකරුවන් තවමත් අඳුරේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.