Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කසකස්තාන සංචාරය අතහැර දමයි

කසකස්තාන සංචාරය අතහැර දමයි

editorial - 2021 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වීසා ලබාගැනීමට දැරූ උත්සාහයන් දිගින් දිගටම අසාර්ථක වීම නිසා කසකස්තාන තරග සංචාරය අත්හැර දැමීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අද (15) දහවල් තීරණය කළ බව වාර්තා වේ.

ලබන සෙනසුරාදා හා ඉරිදා (19 – 20) කසකස්තානයේ අල්මාට් නගරයේ දී පැවැත්වීමට නියමිත කොසොනොව් අනුස්මරණ ආරාධිත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි කරවීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියේය. ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වා තිබෙන කසකස්තාන ජාතික මලල ක්‍රීඩා සංගමය ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩා කණ්ඩායමක් ඊට සහභාගි කිරීම සඳහා අනුමැතිය දුන්නේය.

කෙසේවුවත් මේ දිනවල සීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් පෙන්වන දකුණු ආසියාවේ රටවලට වීසා නිකුත් කිරීම කසකස්තාන ආගමන හා විගමන ප්‍රධානීන් ප්‍රතික්ෂේප කරන තත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාවට අද දහවල් වනවිට කසකස්තාන තරග සංචාරයේ බලාපොරොත්තු අත්හැර දැමීමට සිදු වූ බව වාර්තාවේ.  මෙම තරග සංචාරයට සූදානම්ව නිර්දේශ ලබා සිටි සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සංචාරයට සම්පූර්ණ සූදානමින්  ඊයේ (14) සිට කොළඹ නවාතැන් ගෙන සිටි බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මෙම  සංචාරය දුෂ්කරතා රැසක් මැද සූදානම් කර තිබුණේ එළඹෙන ටෝකියෝ ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකාවෙන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනෙකු නිර්දේශ කර ගැනීමට දරන අවසන් උත්සහයක් ලෙසිනි. ඒ සඳහා නිර්දේශ වී සිටියේ ද ටෝකියෝ ඔලිම්පික් උළෙලේ නිර්දේශ කඩ ඉමට ඉතා ආසන්නව සිටි මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීපදෙනෙකි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති, මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා ලංකාදීපය කළ විමසුමක දී පැවසුවේ වීසා ලබා ගැනීම මෙන්ම ගුවන් ප්‍රවේශ පත්‍ර වෙන්කර ගැනීමේදී ද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දුෂ්කරතා ගණනාවකට මුහුණ දුන් බවයි.

‘‘ගුවන් ප්‍රවේශපත්‍ර මිල අපට දරාගත නොහැකි තරම් ඉතා විශාල ලෙස ඉහළ ගොස් තිබුණා. ඒ කාරණයටත් වඩා අපට මෙතන දී බලපෑවේ වීසා ලබාගැනීමේ ප්‍රශ්නයයි. කසකස්තාන මලල ක්‍රීඩා බලධාරීන් අපට ප්‍රතිචාර දැක්වුවත් අවසානයේදී ඔවුන් මාලදිවයිනටත් දැනුම් දී ඇත්තේ කොවිඩ් වසංගත තත්වය මත දකුණු ආසියාවේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වීසා නිකුත් නොකිරීමට තීරණය කළ බවයි. ඇතිවූ තත්වය අපට පාලනය කරන්න පුළුවන් එකක් නොවෙයි.“

“අඩු තරමින් දැන් අපි උත්සහ කරන්නේ මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් ඉන්දීයාවේ පතියලා සංචාරයවත් සාර්ථක කරලා දෙන්නයි’’ යැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.

නිමාලි ලියනආරච්චි (මීටර 800 කාන්තා), කාලිංග කුමාරගේ (මීටර 400 පිරිමි) නදීෂා රාමනායක (මීටර 400 කාන්තා) යුපුන් අබේකෝන් (මීටර 100 පිරිමි), සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම පිරිමි) කසකස්තාන තරග සංචාරයට නිර්දේශ වී සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.  කෙසේ වුවත් ක්‍රීඩක යුපුන් අබේකෝන් මෙම තරග සංචාරයට නිර්දේශ වන විට ඉතාලියේ පුහුණුවීම් කරමින් සිටියේය.

ඇමරිකාවේ දැනට වෙසෙන ශ්‍රී ලාංකික උස පැනීමේ ක්‍රීඩක උෂාන් තිවංක පෙරේරා ද කසකස්තාන තරග සංචාරයට නිර්දේශව සිටියත් ඔහු ඊට සහභාගි නොවන බව මෙරට මලල ක්‍රීඩා ප්‍රධානීන්ට කලින්ම දැනුම් දී තිබුණි. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ කෙළින්ම නිර්දේශ ලබා ගැනීමට ඔහුට අඩුව ඇත්තේ තවත් සෙන්ටිමීටර් තුනක් පමණි.
ඒ සඳහා අවශ්‍ය අවම උස මීටර 2.33 ක් වන අතර ඔහුගේ මේ වනවිට දක්ෂතාවය මීටර් 2.30 කි.

වසර 2019 දෙසැම්බර් නේපාලයේ කත්මන්ඩු නුවර දී පැවති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සහභාගිත්වයෙන් පසු ශ්‍රී ලංකාවට මේ දක්වා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරග සහභාගිත්වය අහිමිව ඇත්තේ ගෝලීය කොවිඩ් වසංගත තත්වය මෙතෙක් පහව නොගොස් තිබෙන තත්වයක් තුළය. තත්වය මෙසේ තිබිය දී ශ්‍රී ලංකාව ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සිය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තවදුරටත් නිර්දේශ කර ගැනීමේ අටියෙන් ඒ සඳහා ගන්නා අවසන් උත්සාහය ලෙස මෙම 26 සිට 30 වැනිදා දක්වා ඉන්දියාවේ පතියලා නුවර දී පැවැත්වෙන ඉන්දීය අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා වූ ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමට උනන්දුවී සිටියි.

ඒ අනුව ඒ සඳහා දැනටමත් මීටර 100x4 සහය දිවීමේ කාන්තා කණ්ඩායමක් ද ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනෙකුගේ කණ්ඩායමක් තෝරාගෙන තිබේ.  කෙසේ වුවත් මෙම තරග සංචාරය සම්බන්ධයෙන් ජාතික ක්‍රීඩා සභාව මේ වනවිට දක්වා තිබෙන ප්‍රතිචාරය එතරම් යහපත් එකක් නොවන බව ද වාර්තා වේ.

ඉතාමත් දරුණු කොවිඩ් වසංගත තත්වයකින් මුළු ඉන්දියාවම වෙළී සිටින අවස්ථාවක මෙම තරග සංචාරයට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි කිරීම අවදානම් බවට ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානීන් අදහස් දක්වා තිබීම නිසා ඊට නිර්දේශ ලබා සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වනවිට වඩාත් දෙගිඩියාවට පත්ව සිටින බව ද වැඩිදුරටත් වාර්තා වේ.

 


අදහස් (0)

කසකස්තාන සංචාරය අතහැර දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.