Last Update  :  2025-05-10 11:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ 7 වැනි වරටත් ලෝක කුසලාන දිනති
කාන්තා ලෝක කුසලාන - 2022

ඕස්ට්‍රේලියානුවෝ 7 වැනි වරටත් ලෝක කුසලාන දිනති

editorial - 2022 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් නවසීලන්තයේදී පැවැති කාන්තා ලෝක කුසලාන (2022) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම අද (3 වැනිදා) සමත් විය. ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් කාන්තා ලෝක කුසලාන දිනූ 7 වැනි අවස්ථාව මෙය වූ අතර මින් පෙර 1978, 1982, 1988, 1997, 2005 සහ 2013 යන වසරවලදීද ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

එංගලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්ට්චර්ච්හි හැග්ලි ඕවර ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයෙන් ලකුණු 71 ක ජයක් වාර්තා කරමින් ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ මෙවර තරගාවලියේ ශූරතාව තමන් සතුකර ගත්හ. එහිදී ජයග්‍රහණය සඳහා ලකුණු 356 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත ක්‍රීඩිකවන්ට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් හමුවේ ඕවර 43.4 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 285 ක් පමණි.

එහිදී දක්ෂ පන්දු යැවීමවල නිරත වූ ඇලානා කිං සහ ජෙස් ජොනසන් කඩුලු 3 බැගින් දවාගනිමින් එංගලන්ත කාන්තා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කළහ. ඒ සඳහා ඔවුන් දෙදෙනාට අනගි සහායක් දුන් මේගන් ෂූට් ලකුණු 42 කට කඩුලු 2 ක් බිඳහෙළුවාය. ඈෂ්ලි ගාඩ්නර් සහ ටාලියා මැග්‍රාත් එහිදී එක් කඩුල්ල බැගින් බෙදාගත්හ.

සෙසු පිතිකාරිණියන් අසාර්ථක වෙද්දී හුදෙකලා පිතිහරඹයක නිරත වූ නතාලි ෂීවර් පන්දු 121 කදී හයේ පහරක් සහ හතරේ පහර 15 ක් සමග නොදැවී ලකුණු 148 රැස්කළාය. 10 වැනි පිතිකාරිණය ලෙස පිටියට පිවිසි චාලට් ඩීන් (21) සමග එක්ව 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53 කදී ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට නතාලි සමත් වුවද, එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා එම සම්බන්ධතාව ප්‍රමාණවත් නොවීය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 356 ක් ලබා ගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පිට පිටම දෙවැනි ශතකය ලබාගත් ඇලීසා හීලි පන්දු 138 කින් ලකුණු 170 ක් රැස්කළේ හතරේ පහර 26 ක් සමගිනි. දිගින් දිගටම දැක්වූ දස්කම් හේතුවෙන් ඇය අවසන් තරගයේ මෙන්ම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසද සම්මාන දිනාගත්තාය.

රැෂල් හේන්ස් (68) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 175 කදී ලකුණු 160 ක සම්බන්ධතාවක් ගොඩනැගූ හීලි, ඉන් නොනැවතී බෙත් මූනි (62) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 156 ක සම්බන්ධතාවක්ද ගොඩනැගීමට සමත් වූවාය. පන්දු 93 කදී වාර්තා වූ හේන්ස්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින්ද, පන්දු 47 කදී වාර්තා වූ මූනිගේ අර්ධ ශතකය හතරේ පහර 8 කින්ද සමන්විත විය.


ඕස්ට්‍රේලියානු කාන්තා පිල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 356
(ඇලීසා හීලි 170, රැෂල් හේන්ස් 68, බෙත් මූනි 62, එලිස් පෙරි නොදැවී 17, ඇන්යා ශ්‍රබ්සෝල් 46/3)

එංගලන්ත කාන්තා පිල - ඕවර 43.4 කදී සියලු දෙනා දැවී 285  
(ටැමී බියුමොන්ට් 27, හෙදර් නයිට් 26, නතාලී ෂීවර් නොදැවී 148, ඇමී ජෝන්ස් 20, සොෆියා ඩන්ක්ලි 22, චාලට් ඩීන් 21, ජෙස් ජොනසන් 57/3, ඇලනා කිං 64/3, මේගන් ෂූට් 42/2)

2015 දී....                                                                          2022 දී...

-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 7 වැනි වරටත් ලෝක කුසලාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.