Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියානුවෝ මුල් ඉනිමේ වාසිය ගනිති
වෝන් - මුරලි කුසලාන

ඕස්ට්‍රේලියානුවෝ මුල් ඉනිමේ වාසිය ගනිති

editorial - 2022 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

දෙවැනි දිනයට වර්ෂාවෙන් බාධා පැමිණි නමුත්, විනාඩියකට ලකුණක් බැගින් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිමේ වාසිය අත්කර ගත්හ. වෝන් - මුරලි කුසලාන වෙනුවෙන් ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (30 වැනිදා) සවස පැවැති මන්දාලෝකය නිසා ක්‍රීඩාව නතර කරන විට ඕස්ටේ්‍රලියානු පිල කඩුලු 8 ක් දැවී ලකුණු 313 ක් ලබා සිටියේය.

ලසිත් ඇඹුල්දෙණියගේ ඕවර 15 කින් ලකුණු 73 ක් උදුරාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ මහත් බලපොරොත්තු කඩවීමක් වූ අතරම ධනංජය ද සිල්වාගේ අද දිනයේ පන්දු යැවීම ඕවර 2 කට පමණක් සීමාවීමත් අවාසියට කාරණාවක් විය. දෙවැනි දිනය වන විට ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 101  ක මුල් ඉනිමේ වාසියක් අත්කරගෙන තිබිණ.

ඉනිම පුරාම අගනා පන්දු යැවීමක නිරත වූ රමේෂ් මෙන්ඩිස්, ඕවර 31 ක් යවමින් ලකුණු 107 කට කඩුලු 4 ක් දවාගෙන සිටියේය. එහෙත් අනෙක් අන්තයෙන් මෙන්ඩිස් අපේක්‍ෂා කළ සහයෝගය නොලැබිණ.

ශ්‍රී ලංකා පිලේ සිටින එකම වේග පන්දු යවන්නා යැවූයේ ඕවර 8 කි. ඉතිරි අය එක්ව යැවූ ඕවර 61 න් එකම නොයිඳුල් ඕවරයක් හෝ යැවීමට ශ්‍රී ලංකා ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් සිව්දෙනා අසමත් වූහ.

පෙරවරුවේදී පැවැති වර්ෂාව සහ දැඩි සුළඟ නිසා දිවා ආහාරයට පෙර හෝරා දෙකක කාලය සම්පූර්ණයෙන්ම දියවී ගියේය. පස්වරු 1.45 ට ආරම්භ වූ තරගයේ වැඩි වේලාවක් යා නොදීම පන්දු යැවූ ධනංජය ද සිල්වා විසින්ම ඉතා විශිෂ්ට අන්දමින් රැකගන්නා ලද උඩපන්දුවක් හමුවේ ට්‍රැවිස් හෙඩ් පිටියෙන් ඉවත් වූවද ඒ සමගින්ම වාගේ ධනංජයගේ පන්දු යැවීමත් නතර විය.

උස්මන් කවාජා (71),  කැමරන් ග්‍රීන් (77) සහ ඇලෙක්ස් කේරි (45) තිදෙනා පන්දුවේ තියුණු දඟකැවීමට අභියෝග කරමින්, 5 වැනි කඩුල්ලේ සිට 7 වැනි කඩුල්ල දක්වා ලකුණු 178 ක් එකතු කළහ. ඕස්ට්‍රේලියානුවන්ට මුල් ඉනිමේ වාසිය අත්වූයේ එතැනිනි.

පැතුම් නිස්සංකගේ විශිෂ්ට පන්දු රැකීමකින් උස්මන් කවාජා ලකුණු 71 කට දැවී ගියේය. මැද ඉන්න එල්ලයේ වැටුණු පන්දුව, පිත්තේ ඇතුළත දාරයේ වැදී බැක්වර්ඩ් ෂෝට් ලෙග් දෙසට ඇදී යද්දී, ෆෝවර්ඩ් ෂෝට් ලෙග්හි සිටි පැතුම් නිස්සංක සිය වම් පසට පනිමින් උඩපන්දුව ඩැහැගත්තේ ජෙෆ්රි වැන්ඩසේට සිය මංගල කඩුල්ල හිමිකර දෙමිනි.

ආක්‍රමණය ආගම කරගත් කැමරන් ග්‍රීන් සහ ඇලෙක්ස් කේරි දෙදෙනා පාලනය කළ නොහැකි විය. ‘ස්වීප්’ සහ ‘රිවර්ස් ස්වීප්’ පහර මැනවින් ප්‍රයෝජනයට ගත් මේ දෙදෙනා, හයවැනි කඩුල්ල වෙනුවෙන් රැස්කළ ලකුණු 84 වෙනුවෙන් වැයකළේ විනාඩි 83 කි.

පන්දු 3 ක් ඇතුළත කැමරන් ග්‍රීන් සහ මිචෙල් ස්ටාක් ආපසු ක්‍රීඩාගාරයට යැවීමට රමේෂ් මෙන්ඩිස් සහ ජෙෆ්රි වැන්ඩසේ සමත් වූවත්, පන්දු 16 කින් ලකුණු 26 ක් උදුරාගත් ඕස්ටේ්‍රලියානු නායකයා තම කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියේය.

අද දිනයේ අහිමි වූ තරග කාලය අත්පත් කරගැනීම සඳහා තරගයේ තුන්වැනි දින ක්‍රීඩාව හෙට (01 වැනිදා) පෙරවරු 9.45 ට ආරම්භ කිරීමට නියමිතය. හෙට දිනයට නියමිත ඕවර සංඛ්‍යාව 98 කි.

(ඡායාරූප - හිමත් මතීෂ)


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ මුල් ඉනිමේ වාසිය ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.