
ප්‍රංශ පාපැදි සවාරියේ 13 වැනි අදියර ජයගනිමින් මෙවර තරගයේදී සිය සිවුවැනි අදියර ජයග්‍රහණය වාර්තා කිරීමට බ්‍රිතාන්‍යයේ මාර්ක් කැවෙන්ඩිෂ් ඊයේ (9 වැනිදා) සමත් විය. නේම්ස් නගරයේ සිට කාර්කසෝන් නගරය දක්වා කිලෝ මීටර් 219.9 ක දුරකින් සමන්විත වූ එම අදියර නිමා කිරීම සඳහා කැවෙන්ඩිෂ්ට ගත වූ කාලය පැය 5 යි, විනාඩි 04 යි, තත්ත්පර 29 කි.
තිස්හය වැනි වියේ පසුවන කැවෙන්ඩිෂ්, ප්‍රංශ පාපැදි සවාරියක අදියරක් ජයගත් 34 අවස්ථාව මෙයයි. ඒ අනුව ඔහු එදා මෙදා තුර ප්‍රංශ පාපැදි ඉතිහාසයේ වැඩිම අදියර සංඛ්‍යාවක් ජයගෙන සිටින බෙල්ජියමේ එඩී මර්ක්ස්ගේ වාර්තාව සම කිරීමටද සමත් විය. මෙවර පාපැදි සවාරිය නිමාවීමට තවත් අදියර 8 ක් ඉතිරිව තිබෙන බැවින් එහිදී මර්ක්ස්ගේ වාර්තාව බිඳදැමීමටද කැවෙන්ඩිෂ්ට අනගි අවස්ථාවක් තිබේ.
මේ වන විට පාපැදි සවාරියේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කොළ පැහැති බැනියමටද හිමිකම් කියන කැවෙන්ඩිෂ් මින් පෙර පැවැති සිවුවැනි, හයවැනි සහ දසවැනි අදියරවල ජයග්‍රාහකයාද වේ. කැවෙන්ඩිෂ්ගේ සමග එක පොකුරේ පැමිණ තරගය නිමා කළ ඩෙන්මාර්කයේ මයිකල් මෝර්කොව් සහ බෙල්ජියමේ ජැස්පර් පිලිප්සන් පිළිවෙලින් දෙවැනියා සහ තෙවැනියා ලෙස 13 වැනි අදියර නිමා කළහ.
13 වැනි අදියර ජයගැනීමට කැවෙන්ඩිෂ් සමත් වුවද, තවදුරටත් සමස්ත තරගයේ පෙරමුණ රැක ගැනීමට ස්ලෝවේනියාවේ ටඩෙජ් පොගාකාර් සමත්ව සිටියි. ඒ අනුව ඔහු අද (10 වැනිදා) තරගයේ 14 වැනි අදියර සඳහාද කහ පැහැති බැනියම පැලඳ තරග වදිනු ඇත. මේ දක්වා පැවැති අදියර 13 නිමා කිරීම සඳහා පොගාකාර්ට පැය 52 යි, විනාඩි 27 යි, තත්ත්පර 12 ක කාලයක් ගත වී ඇත.
පොගාකාර්ට වඩා විනාඩි 5 යි තත්පර 18 ක් පසුපසින් සිටින කොලොම්බියාවේ රිගෝබර්ටෝ යුරන් සමස්ත තරගයේ දෙවැනි ස්ථානයේ පසුවන අතර පොගාකාර්ට වඩා විනාඩි 5 යි, තත්පර 32 ක් පසුපසින් සිටින ඩෙන්මාර්කයේ ජොනාස් වින්ජ්ගාඩ් එහි තෙවැනි ස්ථානයේ රැදී සිටියි. ඉක්වදෝරයේ රිචඩ් කරපාස් එහි සිවුවැනි ස්ථානයේ පසුවන්නේ පොගාකාර්ට වඩා විනාඩි 5 යි, තත්පර 33 ක් පසුපසින් සිටිමිනි.
13 වැනි අදියරේ ජයග්‍රාහකයන්
1 මාර්ක් කැවෙන්ඩිෂ් (බ්‍රිතාන්‍යය) - පැය 5:04:29
2 මයිකල් මෝර්කොව් (ඩෙන්මාර්කය) - පැය 5:04:29
3 ජැස්පර් පිලිප්සන් (බෙල්ජියම) - පැය 5:04:29
4 අයිවන් ගාර්ෂියා (ස්පාඤ්ඤය) - පැය 5:04:29
5 ඩැනී වැන් පොපල් (නෙදර්ලන්තය) - පැය 5:04:29
6 ඇලෙක්ස් එරන්බූරු (ස්පාඤ්ඤය) - පැය 5:04:29
7 ක්‍රිස්ටෝෆ් ලැපෝර්ට් (ප්‍රංශය) - පැය 5:04:29
8 ඇන්ඩ්‍රි ග්‍රිපල් (ජර්මනිය) - පැය 5:04:29
9 මැග්නස් කෝට් (ඩෙන්මාර්කය) - පැය 5:04:29
10 ජැස්පර් ස්ටූයින් (බෙල්ජියම) - පැය 5:04:29
සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ටඩෙජ් පොගාකාර් (ස්ලෝවේනියාව) - පැය 52:27:12
2 රිගෝබර්ටෝ යුරන් (කොලොම්බියාව) - පැය 52:32:30
3 ජොනාස් වින්ජ්ගාඩ් (ඩෙන්මාර්කය) - 52:32:44
4 රිචඩ් කරපාස් (ඉක්වදෝරය) - පැය 52:32:45
5 බෙන් ඕ'කෝනර් (ඕස්ට්‍රේලියාව) - පැය 52:33:10
6 විල්කෝ කෙල්ඩර්මන් (නෙදර්ලන්තය) - පැය 52:33:28
7 ඇලෙක්සි ලුට්සෙන්කෝ (කසකස්තානය) - පැය 52:33:42
8 එන්රික් මාස් (ස්පාඤ්ඤය) - පැය 52:33:23
9 ගුයිලූම් මාටින් (ප්‍රංශය) - පැය 52:36:41
10 පෙලෝ බිල්බාවෝ (ස්පාඤ්ඤය) - පැය 52:37:40



-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.