
කණ්ඩායමේ ප්‍රධාන පන්දු යවන්නිය වන සොෆී එක්ලෙස්ටන්ගේ ආබාධය එංගලන්ත ජයග්‍රහණයට හරස් නොවීය. වර්තමාන එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී ඉතාමත් පහසු ඉලක්කයක් ලෙසින් සැලකිය හැකි ලකුණු 169 පහසුවෙන් පසුකර ගිය ඇමී ජෝන්ස් (නොදැවී 86) සහ හෙදර් නයිට් (33) ඉන්දියාවේ විශාඛාපට්නම් නුවරදී අද (26 වැනිදා) පැවැති කාන්තා ලෝක කුසලාන තරගයේදී කඩුලු 8 ක ජයක් කරා එංගලන්ත කණ්ඩායම කැඳවාගෙන ගියහ.
අද දිනයේ ලබාගත් ජයග්‍රහණය නිසා එංගලන්ත ක්‍රීඩිකාවෝ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවැනි ස්ථානයට පැනගත්හ. තරගාවලියේ සැලැස්ම අනුව 29 වැනිදා ගුවහටි නුවරදී පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයේදී එංගලන්තය සහ දකුණු අප්‍රිකාව තරග වැදීමට නියමිතය. යම් හෙයකින් එම තරගය වර්ෂාවට සේදී ගියහොත් ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින් සිටීමේ පදනම මත එංගලන්ත කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.
30 වැනිදා නවී මුම්බායි නුවරදී පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව තරග වදිති.
අද තරගයේදී ලද පරාජයත් හේතුවෙන් නවසීලන්ත කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයෙන් ඉවතට විසිවී ගියේය. ඒ සමගින් නවසීලන්ත නායිකා සොෆී ඩෙවීන් කාන්තා එක්දින අන්තර්ජාතික තරග වලින් සමුගන්නා බව ප්‍රකාශ කළාය. එය ඇත්ත වශයෙන්ම සොෆීට කණගාටුදායක අවසානයක් විය. කණ්ඩායමේ ක්‍රීඩිකාවන් දෙතුන් දෙකනුම ලකුණු අතරට පිවිසි නමුත් ඒවා දිගු ඉනිම බවට පරිවර්තනය කිරීමට ඔව්හු අසමත් වූහ.
සොෆී ඩෙවීන් යනු නවසීලන්තය වෙනුවෙන් එක්දින තරග 159 කදී ශතක 9 ක්ද සමගින් ලකුණු 4279 ක් ලබාගත් ක්‍රීඩිකාවකි. එක්දින කඩුලු 111 කට හිමිකම් කියමින් උඩපන්දු 44 ක හිමි සොෆී, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තුන් ඉරියව් ක්‍රීඩිකාවකි. වසර 19 ක් පුරා නවසීලන්තය නියෝජනය කළ සොෆී ඩෙවීන්, 2009, 2013, 2017, 2022 සහ 2025 යන වසර වලදී නවසීලන්තය වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලි සඳහා සහභාගි වූවාය.
එංගලන්තයේ වමතින් දඟ පන්දු යවන්නී සොෆී එක්ලෙස්ටන් පන්දු රැකීමේදී සිය වම් උරහිස තුවාල කරගත්තාය. ඇය යැවූයේ පන්දු 4 ක් වුවද කඩුල්ලක් දවාගත් සොෆී එතැනින් පන්දු යැවීම නතර කළාය. එහෙත් ලින්සේ ස්මිත්, නැතලි ෂිවර්-බ්‍රාන්ට් සහ ඇලිස් කැප්සි තිදෙනා හමුවේ නවසීලන්ත පිතිකාරිණියන්ට ලබාගත හැකිවූයේ ලකුණු 168 කි.
එංගලන්ත ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වූ ඇමී ජෝන්ස් සහ ටැමී බියුමන්ට් දෙදෙනා 15 වැනි ඕවරය අවසන් වීමටත් මත්තෙන් ලකුණු 75 ක් පුවරුවට එකතු කළහ. ජෝන්ස් සහ හෙදර් නයිට් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති ලකුණු 83 ක සම්බන්ධතාව බිඳ වැටෙන විට එංගලන්ත ජයග්‍රහණයට අවශ්‍යව තිබුණේ ලකුණු 11 කි. ඒ වෙනුවෙන් ඕවර 22.5 ක් ඉතිරිව තිබිණ.
නවසීලන්ත කාන්තා කණ්ඩායම - ඕවර 38.2 කදි 168 යි
(සුසී බේට්ස් 10, ජෝර්ජියා ප්ලිමර් 43, ඇමීලියා කර් 35, සොෆී ඩෙවීන් 23, මැඩී ග්‍රීන් 18, ඉසබෙලා ගේස් 14, ජෙස් කර් 10, ලින්සේ ස්මිත් 30/3, නැතලි ෂිවර්-බ්‍රාන්ට් 31/2, ඇලිස් කැප්සි 34/2)
එංගලන්ත කාන්තා කණ්ඩායම - ඕවර 29.2 කදී කඩුලු 2 ක් දැවී 172 යි
(ඇමී ජෝන්ස් නොදැවී 86, ටැමී බියුමන්ට් 40, හෙදර් නයිට් 33)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.