Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විස්සයි-20 පිතිකරුවන් අතර ලෝකයේ අංක 1 හිමි පිතිකරුවා වන ඩේවිඩ් මැලන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට රිසිසේ පහර දෙමින්, තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයේදී එංගලන්ත කණ්ඩායම ලකුණු 180 ක් එකතු කර දුන්නේය. ඊට නොදෙවනි තරගයක නිරත වූ එංගලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 91 කට සීමා කරමින් සදම්ප්ටන් නුවර, ඒජස් බෝල් පිටියේදී අද (26 වැනිදා) පැවැති තුන්වැනි සහ අවසන් විස්සයි-20 තරගයෙන් ලකුණු 89 ක දැවැන්ත ජයක් එංගලන්ත පිලට අත්කර දුන්හ.
මෙම ජයත් සමගින් ශ්‍රී ලංකා පිලට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියේදී 3-0 ක ජයක් එංගලන්ත පිලට හිමිවිය. අන්තර්ජාතික විස්සයි-20 ශ්‍රේණිගත කිරීම් අනුව එංගලන්තය අංක 1 ස්ථානයේද ශ්‍රී ලංකාව අංක 8 ස්ථානයේද සිටියේය.
ලකුණු 181 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට, ඕවර 18.5 කදී සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 91 ක් පමණි. එය ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙම වසරේදී වි-20 තරගයකදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාවයි.
ශ්‍රී ලංකා ඉනිමේ මුල්ම පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවූ ධනුෂ්ක ගුණතිලක ඊළඟ පන්දුව උඩපන්දුවක් ලෙසින් ස්ලිප්හි සිටි ඩේවිඩ් මැලන්ට තිළිණ කළේය. පස්වැනි ඕවරයේ පන්දු 4 ක් ඇතුළත කුසල්ලා දෙදෙනාම දැවී යන විට ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 3 කට 23 ක් ලෙසිනි. එතැනින් ඇතිවූ පසුබෑම නිසා ශ්‍රී ලංකා පිලට නැවත හිස් එසවීමට නොහැකි විය.
ඕවර 10 ක් අවසනදී, ශ්‍රී ලංකාව ලබා සිටියේ කඩුලු 4 කට ලකුණු 53 කි. තරගය ජයගැනීමට නම් අවසන් පන්දු 60 දී ලකුණු 128 ක් අවශ්‍යව තිබුණද ශ්‍රී ලංකා පිලේ අපේක්‍ෂා ඇතින් ඈතට ඇදී ගියේය. කඩුලු දෙකක් පමණක් අතැතිව, ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 30 න් ලකුණු 114 ක් ලබාගැනීම යනු අභව්‍ය අභියෝගයක් බව පසක් කරමින් එංගලන්ත පන්දු යවන්නෝ තරගයේ ජයග්‍රහණය මිට මොළවා ගත්හ.
ආරම්භක පිතිකරුවා වූ ඩේවිඩ් මැලන් පන්දු 41 කදී ලකුණු 71 ක් ලබා සිටියේ හයේ පහර 4 ක්ද සමගිනි. එහෙත් අපේක්‍ෂා නොකළ මොහොතක සිය උපක්‍රම වෙනස් කරමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් තරගයට කඩා වැදීම හේතුවෙන් එංගලන්ත ලකුණු පුවරුව 141/1 සිට 162/6 ක් දක්වා වෙනස් වූයේය.
වේගය අඩාළ කළ පන්දු කිහිපයකින් දුෂ්මන්ත සහ බිනුර දෙදෙනා අවසන් ඕවර 5 දී කඩුලු 5 ක් දවාගත්හ. දුෂ්මන්ත චමීර අති විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් කඩුලු 4 ක් දවාගත්තේ සිය ඕවර 4 ම ලකුණු 17 කට සීමා කරමිනි. නිපන්දු හෝ වයිඩ් පන්දු නොයැවූ දුෂ්මන්තගේ පන්දු 24 න් පන්දු 11 ක්ම නිලකුණු (ලකුණු ලබා නොගත්) පන්දු විය.
කෙසේ වෙතත් ඉසුරු උදාන යැවූ අවසන් ඕවරයේදී ලකුණු 17 ක් උදුරාගත් ක්‍රිස් ජෝඩ්න් සහ සෑම් කරන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 181 ක අසීරු ඉලක්කයක් කරා යන මෙන් අභියෝග කළහ.
පළමු තරග දෙකම ජයගත් එංගලන්තය 2-0 ක් ලෙසින් තරගාවලියේ පෙරමුණ ගෙන සිටියද, හැකි පමණි්න් තමන්ගේ කීර්තිය රැකගැනීමේ අදහස ඇතිව ශ්‍රී ලංකා පිල තරගයට පිවිසියේ වෙනස්කම් දෙකක් ද කරමිනි. පිට පිටම තුන්වැනි වතාවටත් කාසියේ වාසිය දිනාගත් කුසල් පෙරේරා මෙවර පන්දු යැවීම තෝරා ගත්තේය.
දුෂ්මන්ත චමීර සහ බිනුර ප්‍රනාන්දු දෙදෙනා සාර්ථක පන්දු යැවීමක නිරත වූයේ අධිවේගී ඕවර 6 න් අඩකදී ලකුණු 14 ක් පමණ් ලබාගැනීමට අවසර දීමෙනි. එහෙත් එතැන් සිට ක්‍රියාත්මක වූ ජොනී බෙයාර්ස්ටෝ සහ ඩේවිඩ් මැලන් සාර්ථක සම්බන්ධතාවක නිරත වෙමින් පළමු කඩුල්ල සඳහා පන්දු 70 කදී ලකුණු 105 ක් එක්කළහ.
අලංකාර පිතිහරඹයක යෙදුණු බෙයාර්ස්ටෝ පන්දු 41 කින් අර්ධ ශතකය ලබාගත් අතර ඊට හතරේ පහර 5 ක් සහ හයේ පහරක් ඇතුළත්ව තිබිණ. ඕවර 10 ක් අවසානයේදී ලකුණු 93 ක් ලබා සිටි එංගලන්තය සතුව කඩුලු 10 ම තිබූ හෙයින් අවසන් ඕවර කිහිපයේදි විශාල ලකුණු සංඛ්‍යාවකට යාමට අවස්ථාව තිබිණ. එහෙත් ඩේවිඩ් මැලන්ගේ දැවී යාම හේතුවෙන් ලකුණු 180 සීමාවේදී නතර වීමට එංගලන්තයට සිදුවිය. මැලන්ගේ පන්දු 48 ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් ඇතුළත් වී තිබිණ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.