Last Update  :  2025-09-14 21:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උසස් දක්ෂතාවන්ට වෙන්කළ මුදල් කෝ

උසස් දක්ෂතාවන්ට වෙන්කළ මුදල් කෝ

editorial - 2022 මාර් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(පැතුම් ශ්‍රී විජේරත්න)

ජාතික ක්‍රීඩා සභාවේ අනුමැතිය යටතේ ක්‍රීඩක උසස් දක්ෂතා සඳහා ගිවිසුම්ගත වූ බහුතරයක් ක්‍රීඩා සංගම්වලට පොරොන්දු වූ මුදල් ලැබී නොමැති බව ‘අද’ට වාර්තා වේ.  මෙහිදී සමහර ක්‍රීඩා සංගම්වලට රුපියල් මිලියන ගණනක් වෙන්කර තිබුණද එම සංගම්වලට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් හිමිව ඇත්තේ රුපියල් ලක්ෂයක් වැනි කෙටි මූල්‍ය ප්‍රතිපාදන බවද එම සංගම්වල නිලධාරීහු ‘අද’ ට පැවසූහ.

මීට අමතරව ක්‍රීඩක උසස් දක්ෂතා යටතේ සංගම්වලට පුහුණු තරග සහ ක්‍රීඩා භාණ්ඩ ලබාදීමට පොරොන්දු වී තිබුණද එයද නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වී නොමැති බවට සංගම් මැසිවිලි නගයි.

2021 වසරේ අයවැය ලේඛනයෙන් ක්‍රීඩා සංවර්ධනය (ජාතික ක්‍රීඩා සහ සම්මේලන) සඳහා රුපියල් මිලියන 100 ක මුදලක් වෙන්කර තිබූ අතර, ඉන් ක්‍රීඩක උසස් දක්ෂතා වැඩසටහන යටතේ ගිවිසුම්ගතව ඇති ජාතික ක්‍රීඩා සංගම්/සම්මේලනවලට රුපියල් ලක්ෂ 500 කට වැඩි මුදලක් (රු. 52,096,067.73) වෙන්කර තිබුණි.  කෙසේවෙතත් මෙහිදී ජාත්‍යන්තර පදක්කම් ජයගෙන ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙනදුන් දැල්පන්දු, කායවර්ධන, කැරම්, චෙස්, ටයිකොන්ඩෝ, සවි එසවීම, කබඩි, වූෂු යන ක්‍රීඩා නොසලකා තිබීම කණගාටුවට කරුණකි.

ක්‍රීඩක උසස් දක්ෂතා වැඩසටහන යටතේ ගිවිසුම්ගතව ඇති ක්‍රීඩා සංගම්/ සම්මේලනවලට ලබාදුන් ප්‍රතිපාදන යටතේ වැඩිම මුදලක් ලබාදී ඇත්තේ ජාතික පැරලිම්පික් කමිටුවයි. එම මුදල රුපියල් කෝටි 02කට (රු. 22,135,033. 54) වැඩි මුදලකි.  

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් 60 කට වැඩි සංඛ්‍යාවක් අතුරින් ක්‍රීඩක උසස් දක්ෂතා වැඩසටහන යටතේ ජාතික ක්‍රීඩා සභාව ව්‍යාපෘති සඳහා ගිවිසුම්ගතව ඇත්තේ ක්‍රීඩා 13 ක් පමණකි.

මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩක උසස් දක්ෂතා වැඩසටහන භාරව කටයුතු කරන ක්‍රීඩා නිලධාරිනි ප්‍රීති ඉලේපෙරුම මහත්මියගෙන් විමසීමක් කළ අතර, ඇය පවසා සිටියේ ගිවිසුම යටතේ පොරොන්දු වූ මූල්‍ය ප්‍රතිලාභ ඒ ආකාරයෙන්ම ලබා නොදෙන බවයි.

“ක්‍රීඩක උසස් දක්ෂතා වැඩ සටහන යටතේ ජාතික ක්‍රීඩා සභාවෙන් ක්‍රීඩා සංගම් 13 කට මුදල් අනුමත කර තිබුණා. එහෙත් ඒ පොරොන්දු වූ මුදල් ඒ ආකාරයෙන්ම ලබාදෙන්නේ නැහැ. ක්‍රීඩා සංගම්වල ක්‍රියාකාරිත්වය, පවත්වනු ලබන තරගාවලි සමාලෝචනය කරලා තමයි මුදල් ලබාදෙන්නේ. එතකොට අදාළ සංගම් ඒ ආකාරයෙන්ම ක්‍රියාකාරි වෙලා තිබෙනවා නම් ක්‍රීඩක උසස් දක්ෂතා වැඩසටහන යටතේ ඊට අදාළ මුදල් ලබා දෙනවා” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශකර සිටියාය.

හැම වසරකදීම මෙන්ම මෙවරත් (2021 වසරේදී) ක්‍රීඩා අමාත්‍යාංශයට වෙන්කළ මුදලින් කිසිඳු ප්‍රයෝජනයක් නොගෙන රුපියල් මිලියන 50 ක මුදලක් (ක්‍රීඩාව ප්‍රවර්ධනයට සහ යටිතල පහසුකම් සංවර්ධනයට ලබාදුන්) යළිත් මහා භාණ්ඩාගාරයට යවා ඇති පසුබිමක ක්‍රීඩා 13 කට පමණක් ක්‍රීඩක උසස් දක්ෂතා සඳහා මුදල් වියදම් කිරීමෙන් මෙරට ක්‍රීඩාව වැඩිදියුණු කළ හැකිදැයි ප්‍රශ්න කළ යුතුය. එම රුපියල් මිලියන 50 ඉහතින් සඳහන් කළ ජාත්‍යන්තර පදක්කම් ජයගත හැකි ක්‍රීඩාවල උසස් දක්ෂතා වර්ධනය කිරීමට යෙදවූයේ නම් අවම වශයෙන් තවත් ජාත්‍යන්තර පදක්කම් කිහිපයක් හෝ දිනාගැනීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට තිබුණි.


අදහස් (0)

උසස් දක්ෂතාවන්ට වෙන්කළ මුදල් කෝ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.