Last Update  :  2026-03-05 23:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story උප සභාපති ධුරයත් විදුහල්පතිවරුන්ට පමණයි

උප සභාපති ධුරයත් විදුහල්පතිවරුන්ට පමණයි

නාමල් පතිරගේ - 2026 මාර් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

පාසල් ක්‍රීඩා සංගම් 33 ක් හා පාසල් ක්‍රීඩා සභාව සදහා මෙම වසරට  නියමිත නිලවරණ (2026 -27) කැදවිමේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව රෙගුලාසි කීපයක් හඳුන්වාදී තිබේ. එහිදී පාසල් ක්‍රීඩා සංගම්වල  සභාපති හා උප සභාපති ධූර පත්වීම්වි විදුහල්පතිවරුන්ට පමණක් සීමා කර තිබේ. ඒ අතර මෙතෙක් පාසල් ක්‍රීඩා පුහුණුකරුවන්ට පාසල් ක්‍රීඩා සංගම් තනතුරු සදහා ඉදිරිපත්වීමට තිබූ බාධාවන්ද එයින් ඉවත් කර තිබේ.

ඒ අතර මෙතෙක් ශ්‍රී ලංකා ගුරු සේවයේ නිලධාරීන් විසින් දරමින් සිටි පාසල් ක්‍රීඩා සංගම්හි ප්‍රධාන ලේකම් තනතුරට මින් ඉදිරියට අධ්‍යාපන පරිපාලන සේවයේ හා විදුහල්පති සේවයේ නිලධාරීන්ටද ඉදිරිපත්වීමේ අවස්ථාව නව රෙගුලාසි වලින් තහවුරු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් ඒ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සංශෝධිත චක්‍ර ලේඛනයට අනුව දක්වා ඇත්තේ පාසල් ක්‍රීඩා සභාව ඇතුළුව පාසල් ක්‍රීඩා සංගම්හි සභාපති හෝ උප සභාපති ධූරයක් සදහා පත් වන්නෙක් ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හෝ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු,දෙවැනි හෝ තෙවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයෙක් විය යුතු බවයි.

එහෙත් පාසල් ක්‍රීඩා සභාව හා පාසල් ක්‍රීඩා සංගමයක අනෙකුත් තනතුරු සදහා ශ්‍රී ලංකා ගුරු සේවයේ තනතුරු දරන්නන්ටද ඉදිරිපත් විය හැකිය. සංශෝධිත එම චක්‍රලේඛනයට අනුව මින් ඉදිරියට අධ්‍යාපන පරිපාලන සේවයේ තනතුරු ලෙස ගැණෙන ගුරු උපදේශක, කඨිකාචාර්ය වැනි ධූර දරන්නන්ටද පාසල් ක්‍රීඩා සංගම්හි සභාපති හා උප සභාපති ධූර සදහා පත්වීම් ලැබිය නොහැකිය.

මේ අතර මාර්තු 19 වැනි දිනට පෙර පාසල් ක්‍රීඩා සංගම්හි නිලවරණ (2026 -27) පවත්වා අවසන් කළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (විෂය සමගාමී හා ප්‍රාථමික අධ්‍යාපන සංවර්ධන) උදාර ටී. දික්කුඹුර මහතා නිකුත් කළ නිවේදනයක දැක්වේ. ඊට අනුව පාසල් ක්‍රීඩා සභාවේ හා ජාතික ක්‍රීඩා සංගම් 33 සදහා නිලවරණ පැවැත්විය යුතු දින දක්වා තිබේ.

කෙසේවූවත් නිලවරණය පවත්වා අවසන් කිරීම සදහා ඇතැම් පාසල් ක්‍රීඩා සංගම් වලට ලබාදී ඇත්තේ පැය එකහාමාරක (විනාඩි 90) කාලයක් පමණි. නිලවරණය කැඳවීමේදී තවත් පාසල් ක්‍රීඩා සංගම් සමූහයකට පැය දෙකේ සිට තුනක් දක්වා වන කාලසීමාවක් ලබාදී තිබේ.

ඒ අනුව මාර්තු 11 වැනිදා කැදවෙන ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලවරණය පවත්වා අවසන් කිරීම සඳහා එදින පෙරවරු 9 සිට දහවල් 12 දක්වා පැය තුනක කාලයක් වෙන් කර තිබේ. එහෙත් එදිනම පැවැත්වෙන ශ්‍රී ලංකා පාසල් මේසපන්දු සංගමයේ නිලවරණය කැඳවීම සදහා වෙන් කර ඇත්තේ එදින පස්වරු 1 සිට පස්වරු 2.30 දක්වා වන විනාඩි 90 ක කාලයක් පමණි.

කෙසේවූවත් මාර්තු 31වැනිදා පැවැත්වීමට නියමිත පාසල් ක්‍රීඩා සභාවේ නිලවරණය පවත්වා අවසන් කිරීම සදහා එදින පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා වන කාලය වෙන් කර තිබේ. ඉහත සියලු පාසල් ක්‍රීඩා සංගම් නිලවරණ යොදා ගත් දිනවලදී අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විය යුතු බවට එම අමාත්‍යාංශය නිවේදනයේ අවධාරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය පාසල් ක්‍රීඩා සංගම් නිලවරණ කැඳවීමේදී පනවා තිබෙන රෙගුලාසි අනුව නාමයෝජනා ඉදිරිපත් කරන්නන් වයස 57 නොඉක්මිය යුතු වන අතර තනතුරු සදහා පත්වන අවස්ථාවේදී ඔවුන් නිලවරණ සභාවේ රැඳී සිටිය යුතුය.

ඒ අතර පාසල් ක්‍රීඩා සංගමයක විධායක සභාවේ සංයුතිය 16 සිට 20 දක්වා පවත්වා ගෙන යා හැකිය.ඒ අතර සාමාජිකත්වය 400 ක් ඉක්මවා යන අවස්ථාවක පාසල් ක්‍රීඩා සංගමයකට විධායක සභාව උපරිම 39 ක් දක්වා වන ඔත්තේ ගණනකින් පත් කර ගත හැකිය. උප සභාපති ධූර ගණන  තුනේ සිට උපරිම පහක් දක්වා පත් කර ගත හැකිය. පාසල් ක්‍රීඩා සංගම් නිලවරණ සදහා සහභාගි වීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ජාත්‍යන්තර හා පෞද්ගලික පාසල් වෙත හිමි වන නමුත් ඔවුන්ට විධායක සභාවේ තනතුරු සදහා ඉදිරිපත් විය නොහැකි බව ඉහත චක්‍රලේඛනයේ දැක්වේ.

මේ අතර පාසල් ක්‍රීඩා සංගමයක නිලවරණය සදහා සහභාගි වන සාමාජිකත්වය හෙබි එක් පාසලකට ඡන්ද දෙකක් බැගින් හිමි වේ. එහිදී අදාළ පාසලේ විදුහල්පතිවරයා ඊට සහභාගි නොවෙන්නේ නම් එය එක් ඡන්දයකට පමණක් සීමා කෙරේ.

එකම පාසලක නියෝජිතයන් දෙදෙනකුට විධායක සභාවේ අධීක්ෂණ නිලධාරී හා කාරක සභික ධූරයකට පත්වීම් ලබා ගැනීම හැරෙන්නට සෙසු කිසිදු තනතුරක් සදහා නිලවරණයකදී එකම පාසලක් නියෝජනය කරමින් පත්වීම් දෙකක් ලබා ගත නොහැකිය.


අදහස් (0)

උප සභාපති ධුරයත් විදුහල්පතිවරුන්ට පමණයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.