
(ශානුක අරවින්ද)
අන්තර් ජාතික බොක්සිං සංගමයේ සංවිධානත්වයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවරදී පැවැත්වෙන 2025 පිරිමි බොක්සිං ලෝක ශූරතාවලියේ කිලෝ ග්‍රෑම් 71 බර පංතියේ අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ උදාර රූපස්සර ඊයේ (7 වැනිදා) සමත් විය.
මෙම තරගාවලියේ 16 දෙනාගේ වටයකට සුදුසුකම් ලැබූ සිවුවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා උදාර වූ අතර ඔහුට පෙර ඩැනිල් තිසරාරච්චි (කි.ග්‍රෑ. 48 බර පංතිය), රවිඳු කුමාර (කි.ග්‍රෑ. 54 බර පංතිය) සහ මොහොමඩ් උසෙයිත් (කි.ග්‍රෑ. 75 බර පංතිය) යන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝද 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබූහ.
තරගාවලියේ සිවුවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) රාත්‍රියේ පැවැති කිලෝ ග්‍රෑම් 71 බර පංතියේ 32 දෙදෙනාගේ වටයේ තරගයකදී ජර්මනියේ මැක්සිම් බුනකොව් පරාජය කරමින් උදාර රූපස්සර 16 දෙනාගේ වටයට පිවිසියේය. 16 දෙනාගේ වටයේදී ඔහු සැම්බියාවේ ජෙනතන් ම්වින්ගාට හෝ ස්පාඥ්ඥයේ ෆ්‍රෑන්ක් මාර්ටිනස්ට එරෙහිව තරග වැදීමට නියමිතය.
ඊයේ දිනයේදී කිලෝ ග්‍රෑම් 57 බර පංතියේ 32 දෙදෙනාගේ වටයේ තරගයකට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුක්මාල් ප්‍රසන්නට උස්බැකිස්තාන ක්‍රීඩක කුජනසර් නොටෝජියෙව් හමුවේ පරාජයට පත්වීම හේතුවෙන් එම බර පංතියේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.
තරගාවලියේ පස්වැනි දිනය වන අද (8 වැනිදා) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන ඩැනිල් තිසරාරච්චි කිලෝ ග්‍රෑම් 48 බර පංතිය යටතේ ජෝජියාවේ සාඛිල් අලක්වෙඩෝවිට එරෙහිවද, මොහොමඩ් උසෙයිත් කිලෝ ග්‍රෑම් 75 බර පංතිය යටතේ මාලි රාජ්‍යයේ ටේරඕර් ජිබ්රිල්ට එරෙහිවද 16 දෙනාගේ වටයයේ තරගවලට සහභාගි වීමට සූදානමින් සිටිති.
රටවල් 150 ක ක්‍රීඩකයන් 600 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගීවන මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 8 දෙනෙක් එක්ව සිටිති. මෙම තරගාවලියේ රන් පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 ක් මුදල් ත්‍යාග ලෙස පිරිනමන අතර රිදී පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් ලක්ෂ 1.5 ක්ද, ලෝකඩ පදක්කමක් සඳහා ඇමරිකානු ඩොලර් 75,000 ක්ද මුදල් ත්‍යාග ලෙස පිරිනැමීමට නියමිතය.

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.