
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර තිරුවනාන්තපුරම්දී අද (26 වැනිදා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් වාර්තා කළ ඉන්දීය ක්‍රීඩිකාවෝ, දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය තවත් තරග 2 ක් ඉතිරිව තිබියදීම 3-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 113 ක පහසු ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 13.2 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකාරිණී ෂෙෆාලි වෙර්මා පන්දු 42 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළාය.
ලකුණු 67 ක් තුළ කඩුලු 2 ක් ඉන්දීය පිතිකාරිණියන් දෙදෙනකු පිටියෙන් ඉවත් කිරීමට කවීෂා දිල්හාරි සමත් වුවද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් (නොදැවී 21) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 48 නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ ෂෙෆාලි සිය කණ්ඩායමේ ජයග්‍රහණය පහසු කළාය. පන්දු 18 කට මුහුණදුන් හර්මන්ප්‍රීත්ගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඉන්දීය පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 අවසන් වන විට කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 112 ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ ඉමේෂා දුලානි පන්දු 32 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 27 ක් රැස්කළ අතර ආරම්භක පිතිකාරිණී හසිනි පෙරේරා පන්දු 18 කින් ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 5 ක් සමගිනි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ රේනුකා සිං නිලකුණු ඕවරයක්ද සමග ඕවර 4 ක් යවමින් ලකුණු 21 කට ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පිතිකාරිණියන් 5 දෙනොගෙන් සිව්දෙනෙකුම දවාගැනීමට සමත් වූවාය. ශ්‍රී ලංකා කාන්තා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් දීප්ති ශර්මා සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුලු 3 ක් බිඳහෙළුවාය.
ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 20 කදී කඩුලු 7කට 112
(හසිනි පෙරේරා 25, ඉමේෂා දුලානි 27, කවීෂා දිල්හාරි 20, කෞෂිනි නුත්‍යංගනා නොදැවී 19, රේනුකා සිං 21/4, දීප්ති සිං 18/3)
ඉන්දීය කාන්තා පිල - ඕවර 13.2 කදී කඩුලු 2 කට 115
(ෂෙෆාලි වෙර්මා නොදැවි 79, හර්මන්ප්‍රීත් කෞර් නොදැවී 21, කවීෂා දිල්හාරි 18/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.