Last Update  :  2025-05-09 22:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 10 ක ජයක් ලබති
ඉන්දු - ලංකා 2 වැනි එක්දින තරගය

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 10 ක ජයක් ලබති

editorial - 2022 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (4 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 10 ක පහසු ජයක් ලැබූ ඉන්දීය කාන්තා කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය තවත් තරගයක් ඉතිරිව තිබියදීම 2-0 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක ඉලක්කයක් ඉලක්කයක් හඹාගිය ඉන්දීය ක්‍රීඩිකාවෝ ඕවර 25.4 ක් අවසානයේ කිසිවකු නොදැවී එම ඉලක්කය පසුකර ගියහ. ඉන්දීය ආරම්භක පිතිකාරිණියන් ලෙස කටයුතු කළ ස්ම්‍රිති මන්ධනා පන්දු 83 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 94 ක්ද, ශිෆාලි වෙර්මා පන්දු 71 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 71 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.

ඉන්දීය පිතිකාරිණියන් මර්දනය කිරීම සඳහා තමාද ඇතුළත්ව පන්දු යවන්නියන් 6 දෙනකුගේ සේවය ලබාගැනීමට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පියවර ගත්තද, ඔවුන් කිසිවකුට කඩුලු දවාගැනීමට නොහැකි වූහ. එහිදී අචිනි කෞෂල්‍යා‍ගේ ඕවරවලදී හැරණුකොට සෙසු පන්දු යවන්නියන් සියලු‍ දෙනාගේම ඕවරවලදී ලකුණු 6 කට වැඩි ලකුණු රැස්කිරීමේ වේගයක් රඳවාගෙන යෑමට ඉන්දීය පිතිකාරිණියන් දෙදෙනා සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඕවර 50 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 173 ක් පමණි. ශ්‍රී ලංකා කාන්තා ඉනිමේ වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ අමා කාංචනා පන්දු 83 කදී හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 47 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිරත වූවාය. ලකුණු 81 කට කඩුලු 6 ක් බිඳවැටී තිබියදී නිලක්ෂි ද සිල්වා (32) සමග එක්ව 7 වැනි කඩුල්ල සඳහා පන්දු 83 කදී ලකුණු 42 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද කාංචනා සමත් වූවාය.

පන්දු 62 කට මුහුණදුන් නිලක්ෂි හතරේ පහර 3 කින් සිය ඉනිම සැරසුවාය. ආරම්භක පිතිකරු භූමිකාවෙන් මිදී මෙම තරගයේදී අංක 3 ස්ථානයේ පන්දුවට පහරදුන් නායික චමරි අතපත්තු පන්දු 45 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 27 ක් ලබා සිටියදී දැවී ගියාය. දක්ෂ ලෙස පන්දුවට පහරදෙමින් සිටියදී දුවද්දී දැවී යෑමකට හසුවූ අනුෂ්කා සංජීවනී පන්දු 44 කින් ලකුණු 25 ක් රැස්කළේ හතරේ පහර 2 ක් සමගිනි.

මෙම තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් හිමිකර ගැනීමට විෂ්මි ගුණරත්න සමත් වූ අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර වරම් හිමිකරගත් ලාබාලම ක්‍රීඩිකාව ලෙසද ඇය වාර්තා අතරට එක් වූවාය. අද තරගයට ක්‍රීඩා කරන විට ඇගේ වයස අවුරුදු 16 යි දින 316 ක් ලෙස සටහන් වී ති‍බිණ.

කෙසේ වුවත් මෙම තරගයේදී විෂ්මිට කැපී පෙනෙන යමක් කිරීමට නොහැකි වූ අතර ලකුණු 3 ක් ලබා සිටියදී ඇය රේනුකා සිංගේ පන්දුවක් හමුවේ දැවී ගියාය. ඇය සමග ශ්‍රී ලංකා කාන්තා ඉනිම ඇරඹූ හසිනි පෙරේරා මෙන්ම අංක 4 පිතිකාරිණී හර්ෂිතා මාධවීද ලකුණු නොළබා දැවී ගියේ රේනුකාගේ පන්දු හමුවේය.

ඉන්දීය කාන්තා කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රේනුකා නිලකුණු ඕවරයක්ද සමග සිය ඕවර 10 ලකුණු 28 කට සීමා කරමින් කඩුලු 4 බිඳහෙළීමට සමත් වූවාය. ශ්‍රී ලංකා කාන්තා ඉනිම සුනුවිසුණු කිරීම සඳහා ඇයට අනගි සහායක් දුන් දීප්ති ශර්මා සහ මේග්නා සිං කඩුලු 2 බැගින් දවාගත්හ.  


ශ්‍රී ලංකා කාන්තා පිල - ඕවර 50 කදී සියලු දෙනා දැවී 173
(චමරි අතපත්තු 27, අනුෂ්කා සංජීවනී 25, නිලක්ෂි ද සිල්වා 32, අමා කාංචනා නොදැවී 47, රේනුකා සිං 28/4, දීප්ති ශර්මා 30/2, මේග්නා සිං 43/2)

ඉන්දීය කාන්තා පිල - ඕවර 25.4 කදී කිසිවකු නොදැවී 174
(ශිෆාලි වෙර්මා නොදැවි 71, ස්මිත්‍රි මන්ධනා නොදැවී 94)

 


අදහස් (0)

ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 10 ක ජයක් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.