Last Update  :  2025-08-11 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඉන්දියාවට ලකුණු 66 ක ජයක්

ඉන්දියාවට ලකුණු 66 ක ජයක්

editorial - 2021 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිතිකරුවන්ගේත් පන්දු යවන්නන්ගේත් දක්ෂතාවය හේතුවෙන් එංගලන්තයට එරෙහිව පූනේහිදී අද (23 වැනිදා) පැවැති පළමු එක්දින තරගයෙන් ලකුණු 66 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය. අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීග් තරගාවලිය යටතේ පැවැති මෙම තරගය ජයගත් ඉන්දියාවට ප්‍රසාද ලකුණු 10 ක් හිමිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 318 ක ඉලක්කයක් හඹාගිය එංගලන්තයට ඕවර 42.1 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 251 ක් පමණි. ආරම්භක පිතිකරුවන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් අවශ්‍ය අඩිතාලම දමා දුන්නද සෙසු  පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් පරාජය වැළඳ ගන්නට එංගලන්ත කණ්ඩායමට සිදුවිය.

ශතකය පෙනි පෙනි සිටියදී ශර්දුල් ඨාකූර්ගේ පන්දුවක් හමුවේ කුල්දිප් යාදව් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගිය ජොනී බෙයාර්ස්ටෝ පන්දු 66 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 94 ක් ලබාගත්තේය. බෙයාර්ස්ටෝට අනගි සහයක් ලබාදුන් ජේසන් රෝයි පන්දු 35 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 46 ක් ලබාගත්තේය.

පළමු කඩුල්ල සඳහා පන්දු 86 කදී ලකුණු 135 ක සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වීමට ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටෝ සමත්වූහ.

මොයින් අලී ලකුණු 38 ක් සහ ඔයින් මෝගන් ලකුණු 22 ක් ලබාගත්තද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට එය ප්‍රමාණවත් නොවීය.

මංගල තරගයට එක්වූ ප්‍රසිධ් ක්‍රිෂ්ණා ආරම්භයේදී එංගලන්ත පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වුවද පසුව කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය. ශර්දුල් ඨාකූර් කඩුලු 3 ක් සහ බුව්නේෂ්වර් කුමාර් කඩුලු 2 ක් දවාගනිමින් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට පන්දුවෙන් දායක වූහ.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී ලකුණු 317 ක් රැස්කිරීමට සමත්විය.

ෂීකර් ධවාන්, විරාට් කෝලී, ලෝකේෂ් රාහුල් සහ කෲනාල් පාණ්ඩ්‍යාගේ අර්ධ ශතක හමුවේ ලකුණු 300 සීමාව පසුකිරීමට ඉන්දීය කණ්ඩායමට හැකිවිය. ආරම්භක පිතිකරු ෂීකර් ධවාන් ශතකය පෙනි පෙනි බෙන් ස්ටෝක්ස්ගේ පන්දුවක් හමුවේ ඔයින් මෝගන් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට ලකුණු 98 ක් රැස්කර සිටියේය. පන්දු 106 කට මුහුණදුන් ස්ටෝක්ස්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 11 කින් අංලකාර විය.

ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මා ඉන්දීය ලකුණු පුවරුව 64 ක් වනවිට දැවීයාමෙන් පසුව පිටියට පිවිසි විරාට් කෝලී අනෙක් ආරම්භක පිතිකරුවා වූ ෂීකර් ධවාන් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා පන්දු 102 කදී ලකුණු 105 ක සම්බන්ධතාවයක් ගොඩනැගීය.

දෙවැනි කඩුල්ල ලෙස කෝලී දැවීයන විට පන්දු 60 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 56 ක් රැස්කර සිටියේය.

ලකුණු 205 ක් වනවිට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 5 ක් බිඳවැටුණද ඉන් අධෛර්යමත් නොවූ ලෝකේෂ් රාහුල් සහ කෲනාල් පාණ්ඩ්‍යා වේගවත් පිතිහරඹයක නිරත වෙමින් හයවැනි කඩුල්ල සඳහා පන්දු 57 කදී ලකුණු 112 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ලකුණු 300 සීමාවෙන් ඔබ්බට ඉන්දීය ලකුණු සංඛ්‍යාව රැගෙන ගියහ.

ලෝකේෂ් රාහුල් පන්දු 43 කදී හයේ සහ හතරේ පහර 4 බැගින් එල්ල කරමින් නොදැවී ලකුණු 62 ක් ලබාගත් අතර මංගල තරගයට එක්වෙමින් මංගල අර්ධ ශතකය ලබාගත් කෲනාල් පාණ්ඩ්‍යා පන්දු 31 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් සමගින් නොදැවී ලකුණු 58 ක් ලබාගත්තේය.

මාස 18 කට පමණ පසුව එක්දින තරගයකට එක්වූ බෙන් ස්ටෝක්ස් ලකුණු 34 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඉන්දීය පිතිකරුවන් හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්වූ මාක් වුඩ් ලකුණු 75 කට කඩුලු 2 ක් දවාගත්තේය.


ඉන්දියාව - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 317
(රෝහිත් ෂර්මා 28, ෂීකර් ධවාන් 98, විරාට් කෝලී 56, ලෝකේෂ් රාහුල් නොදැවී 62, කෲනාල් පාණ්ඩ්‍යා නොදැවී 58, බෙන් ස්ටෝක්ස් 34/3, මාක් වුඩ් 75/2)

එංගලන්තය - ඕවර 42.1 කදී සියලුදෙනා දැවී 251
(ජේසන් රෝයි 46, ජොනී බෙයාර්ස්ටෝ 94, ඔයින් මෝගන් 22, මොයින් අලී 30, ප්‍රසිධ් ක්‍රිෂ්ණා 54/4, ශර්දුල් ඨාකූර් 37/3, බුව්නේෂ්වර් කුමාර් 30/2)

- 2079

 


අදහස් (0)

ඉන්දියාවට ලකුණු 66 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.