
විස්සයි-20 ලෝක කුසලන ක්‍රිකට් තරගාවලියේ 'ඒ' කාණ්ඩය යටතේ අද (12 වැනිදා) දිල්ලි නුවර අරුන් ජයිට්ලි ක්‍රීඩාංගණයේ පැවැති මූලික වටයේ තරගයේදී නැමීබියාවට එරෙහිව ලකුණු 93 ක පහසු ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹා ගිය නැමීබියාවට ඉන්දීය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 18.2 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 116 ක් පමණි. එහිදී වරුන් චක්‍රවර්ති ලකුණු 7 කට කඩුලු 3 ක් දවාගත් අතර අක්සර් පටේල් සහ හර්දීක් පාණඩ්‍යා කඩුලු 2 බැගින් බිඳහෙළූහ.
නැමීබියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ආරම්භක පිතිකරු ලෝරන් ස්ටීන්කෑමප් පන්දු 20 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග ලකුණු 29 ක් ලබාගත් අතර ජෑන් ෆ්‍රයිලින්ක් පන්දු 15 කින් ලකුණු 22 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගිනි. නායක ජර්හාඩ් එරස්මස් පන්දු 11 කදී හයේ පහර 3 ක් සමග ලකුණු 18 ක් ලබා සිටියදී දැවී ගියේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 9 ක දැවී ලකුණු 209 ක් ලබාගත්තේය. ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 28 කට මුහුණදුන් හර්දීක් පාණ්ඩ්‍යා හයේ පහර 4 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 52 ක් රැස්කළේය. එහිදී ශිවම් ඩූබේ (23) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පාණ්ඩ්‍යා සමත් විය.
ඉන්දීය කණ්ඩායමට සාර්ථක අරම්භයක් ලබාදුන් ඉෂාන් කිෂන් පන්දු 24 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 61 ක් රැස්කළේය. මුලු ලකුණු සංඛාව 25 ක් වන විට සංජු සැම්සන් (22) දැවී ගියද, දෙවැනි කඩුල්ල සඳහා තිලක් වර්මා (25) සමග එක්ව පන්දු 31 කින් ලකුණු 79 ක් එක් කිරීමටද ඉෂාන් සමත් විය. පන්දු 8 කදී වාර්තා වූ සැම්සන්ගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහරකින් සමන්විත විය .
ඉන්දියාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 209
(ඉෂාන් කිෂන් 61, සංජු සැම්සන් 22, තිලක් වර්මා 25, හර්දීක් පාණ්ඩ්‍යා 52, ශිවම් ඩූබේ 23, ජර්හාඩ් එරස්මස් 20/4)
නැමීබියාව - ඕවර 18.2 කදී සියලු දෙනා දැවී 116
(ලෝරන් ස්ටීන්කැම්ප් 29, ජෑන් ෆ්‍රයිලින්ක් 22, ජර්හාඩ් එරස්මස් 18, වරුන් චක්‍රවර්ති 07/3, අක්සර් පටේල් 20/2, හර්දීක් පාණ්ඩ්‍යා 21/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.