Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඇන්ඩසන්ට ආරම්භය අහිමි වෙයි
අළු බඳුන

ඇන්ඩසන්ට ආරම්භය අහිමි වෙයි

editorial - 2021 දෙසැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

මේ වන විට සජීවී පුරාවෘත්යක් බවට පත්ව සිටින, එංගලන්ත කණ්ඩායමේ වඩාත්ම පළපුරුදු වේග පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන්ට බ්‍රිස්බේන් නුවරදී හෙට (8 වැනිදා) ආරම්භ වන පළමු වැනි ‘අළු බඳුන’ තරගය අහිමි වී තිබේ. ටෙස්ට් ඉතිහාසයේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර ඉදිරියෙන්ම සිටින වේග පන්දු යවන්නා වන්නේ ජේම්ස් ඇන්ඩසන් සතු ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 632 කි. 

අළු බඳුන තරගාවලිය තරග 5 කින් සමන්විත දීර්ඝ තරගාවලියක් වන බැවින් පාදයේ බත්කෙණ්ඬ මස්පිඬුවේ සුළු ආබාධයකට ලක්ව සිටින ඇන්ඩසන්ව කල්තියාම අවදානමකට ලක්කිරීමට එංගලන්ත කළමණාකාරීත්වය සූදානම් නොවන බවක් පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් හෙට තරගය සඳහා නම්කරන ලද 12 දෙනාගෙන් ඇන්ඩසන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් ඉදිරිපත් කිරීමට එංගලන්ත කණ්ඩායම ඉදිරිපත් වී නැත. 

මේ වන විට 39 හැවිරිදි වියේ පසුවන ජේම්ස් ඇන්ඩසන් සතු කාර්යභාරය මනා කළමණාකාරීත්වයක් ඇතිව පවත්වාගෙන යාමට ජෝ රූට්ගේ එංගලන්ත කණ්ඩායම එකඟ වී තිබේ. වත්මන් එංගලන්ත කණ්ඩායමට ඕනෑ තරම් වේග පන්දු යවන්නන් සිටියද, පළපුරුදු ඇන්ඩසන්ගේ සේවය වෙනුවෙන් යම් යම් දේ කැපකිරීමට එංගලන්ත කණ්ඩායම තවමත් සූදානමින් සිටී. 

ඇතැම් විට තවත් දින 9 කින්, ඇඩිලේඩ් නුවරදී ආරම්භ වීමට නියමිත දෙවැනි අළු බඳුන තරගාවලිය සඳහා ඇන්ඩසන් සුරැකිව තබාගැනීම එංගලන්තයේ උපාය විය හැකිය. ඇඩිලේඩ් තරගය, රෝස පැහැති පන්දුවෙන් ක්‍රීඩා කෙරෙන (දිවා/රාත්‍රී) ටෙස්ට් තරගයක් වන බැවින් පන්දුව දෝලනය කිරීමට සුවිශේෂී සමත්කමක් දක්වන ඇන්ඩසන්ට එය වඩාත් යෝග්‍ය තරගයක් වනු ඇත. 

බ්‍රිස්බේන් ටෙස්ට් තරගයට ඇන්ඩසන් එකතු නොවීම නිසා වේග පන්දු යවන්නන් වන ක්‍රිස් වෝක්ස්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, මාක් වුඩ් සහ ඔලී රොබින්සන් යන සිව් දෙනාගෙන් තිදෙනකු සමගින් එංගලන්ත පිල පිටියට පිවිසෙනු ඇත. පසුගිය ජූලි මාසයේ සිටම ක්‍රීඩා නොකළද බෙන් ස්ටෝක්ස් කණ්ඩායමේ 12 දෙනා අතරට නැවතත් එක්ව සිටී. 

සංචිතයට ඇතුළත්ව සිටින නමුත්, වමතින් දඟ පන්දු යවන්නා වන ජැක් ලීච් කණ්ඩායමේ අවසන් 11 දෙනාට එකතු කර ගන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට උදෑසන කාසියේ වාසියට පෙර තීරණය කෙරෙනු ඇත. 

ඕස්ට්‍රේලියාවේ නව ටෙස්ට් නායකයා වන පැට් කමින්ස්ගේ මූලික ඉලක්කය වන්නේ සිය ප්‍රතිමල්ලවයා වන ජෝ රූට් දවාගැනීමයි. 
“එයා තමයි එතන තියෙන ලොකුම දඩයම. පසුගිය මාස 12 තිස්සේම එයා හොඳින්ම ක්‍රීඩා කළා. කොහොම වුණත් එයා (ජෝ රූට්) මත්තේ සියලුම දේ රඳා පවතිනවා කියලා කියන්න නම් මම ඉක්මන් වෙන්නේ නෑ” යයි පැට් කමින්ස් පැවසීය. 

ලෝකයේ ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 හිමි ජෝ රූට් මේ වන ශතක 23 ක්ද සමගින් ටෙස්ට් ලකුණු 9278 ක හිමිකරුවෙකි. එහෙත් පැට් කමින්ස්ගේ තක්සේරුව අනුව ප්‍රබල එංගලන්ත කණ්ඩායම අළු බඳුන තරගාවලියේදී ඕස්ට්‍රේලියානුවන් හමුවේ අමාරුවේ වැටෙනු නියතය. 

ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් අනුව ඉහළින්ම සිටින පිතිකරුවන් වන ස්ටීවන් ස්මිත් (2), මානස් ලැබුෂේන් (4) සහ ඩේවිඩ් වෝනර් (10) මෙන්ම ශ්‍රේණිගත කිරීම් අතරේ ඉහළින් සිටින පන්දු යවන්නන් වන පැට් කමින්ස් (1), ජොස් හේසල්වුඩ් (4) සහ මිචෙල් ස්ටාක් (14) වැනි පන්දු යවන්නන්ගේ සේවයද  ඕස්ට්‍රේලියානු පිල සතුව තිබේ. කෙසේ වෙතත් ඕස්ටේ්‍රලියානු ටෙස්ට් කණ්ඩායම තරගයකට පිවිසෙන්නේ මාස 11 කට පසුවය. කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය ජනවාරි මාසයේ සිටම ඕස්ට්‍රේලියානුවන්ට ටෙස්ට් තරග අහිමි වී තිබේ. 

එංගලන්තය කණ්ඩායම බ්‍රිස්බේන් නුවරදී පැවැති ටෙස්ට් තරගයක් අවසන් වරට ජයගත්තේ 1986 දීය. අළු බඳුන ඉතිහාසයේදීම එංගලන්තය බ්‍රිස්බේන් නුවරදී ජයගෙන ඇත්තේ තරග 4 ක් පමණි. එයින් දෙකක්, 1930 දශකයේදීය. 

“කොහොම වුණත් (බ්‍රිස්බේන් නුවරදී) පරාජය නොවී සිටියොත් ඒක අපට හොඳ ආරම්භයක් වේවි” යයි ජෝ රූට් කියයි. 

ඕස්ට්‍රේලියානු කණ්ඩායම : 

පැට් කමින්ස් (නායක), මාකස් හැරිස්, ඩේවිඩ් වෝනර්, මානස් ලැබුෂේන්, ස්ටීවන් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, කැමරන් ග්‍රීන්, ඇලෙක්ස් කේරි, මිචෙල් ස්ටාක්, නේතන් ලයන් සහ ජොස් හේසල්වුඩ් 

එංගලන්ත සංචිතය : 

ජෝ රූට් (නායක), රෝරි බර්න්ස්, හසීබ් හමීඩ්, ජොස් බට්ලර්, ඩේවිඩ් මලාන්, බෙන් ස්ටෝක්ස්, ක්‍රිස් වෝක්ස්, ඔලී පෝප්, ඔලී රොබින්සන්, මාක් වුඩ්, ජැක් ලීච් සහ ස්ටුවර්ට් බ්‍රෝඩ්

 


අදහස් (0)

ඇන්ඩසන්ට ආරම්භය අහිමි වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.