Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මේ වසරට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේදී පවැත්වෙන බව ආසියානු ක්‍රිකට් සමුළුව අද (19 වැනිදා) නිවේදනය කළේය. ආසියානු ක්‍රිකට් සමුළුවේ වාර්ෂික මහ සභා රැස්වීම අද දින කොළඹදී පැවැති අතර එහිදී මෙම තීරණය ගන්නා ලදි.
මෙම අවස්ථාවට ආසියාවේ ප්‍රබලතම ක්‍රිකට් කණ්ඩායම් හිමි රටවල් වන ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ ඇෆ්ඝනිස්තානය යන රටවල ක්‍රිකට් පාලක මණ්ඩල නියෝජිතයෝ සහභාගි වූහ. ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති, ශම්මි සිල්වා මහතා මෙම රැස්වීමට සහභාගි වූයෙය.
මේ වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට පූර්වගාමීව පැවැත්වෙන හෙයින් ආසියානු කුසලාන තරගාවලියත් විස්සයි-20 ආකෘතියෙන් පැවැත්වේ. ආසියානු කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් තේරීමේ තරග අගෝස්තු මස 20 වැනිදා ආරම්භ වෙයි.
මෙවර ආසියානු ක්‍රිකට් සමුළුවේ මහ සභා රැස්වීමේදී ගන්නා ලද තීරණයක් අනුව වසර 2024 වාර්ෂික මහ සභා රැස්වීම දක්වා ආසියානු ක්‍රිකට් සමුළුවේ වත්මන් සභාපතිවරයා වන ඉන්දීය ජාතික ජේ ෂා මහතා එම තනතුරේ කටයුතු කරනු ඇත. එලෙසින්ම වත්මන් විධායක කමිටුවද වසර 2024 දක්වා එහි රැඳී සිටිනු ඇත.
මහ සභාව ඇමතූ සභාපති ජේ ෂා මහතා කීවේ ඉදිරි කාලයේදී ආසියානු කලාපයේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම සඳහාත්, විශේෂයෙන්ම ආසියානු කලාපීය තරගාවලි සඳහාත් වැඩි උනන්දුවක් ගන්නා බවයි.
“මා විශ්වාස කරන්නේ අපි මේ වනවිටත් කොරෝනා වසංගතය පසුකර බොහෝ දුර පැමිණ ඇති බවයි. එබැවින් අපි වඩ වඩාත් හොඳින් නව තත්ත්වයන්ට අනුවර්තනය වෙමින්, නිර්මාණශීලී වෙමින්, ආසියානු ක්‍රිකට් සමුළුව වඩ වඩාත් ශක්තිමත් කිරීමට මෙතැන් සිට පියවර ගත යුතුයි” යයිද ජේ ෂා මහතා පැවසීය.
වසර 2000 සිටම, ආසියානු ක්‍රිකට් සමුළුවේ සම සාමාජිකයකු වශයෙන් සිටි කටාර් රාජ්‍යයට මේ වසරේ සිට ආසියානු ක්‍රිකට් සභාවේ පුර්ණ සාමාජිකත්වය පිරිනමා තිබේ.
මෙතෙක් කලක් ආසියානු ක්‍රිකට් සභාවේ උප සභාපතිවරයකු වශයෙන් කටයුතු කළ මහින්ද වල්ලිපුරම් මහතා වෙනුවට ඕමානයේ ක්‍රිකට් සභාපති පන්කාජ් කිම්ජි මහතා ආසියානු ක්‍රිකට් සභාවේ උප සභාපතිවරයකු ලෙසින් නම්කරන ලදි.
ඡායාරූප - ආසියානු ක්‍රිකට් සමුළුවේ අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.