Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවිෂ්ක - භානුක ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කරති

අවිෂ්ක - භානුක ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කරති

editorial - 2021 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද අබුඩාබි සිට..)

පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීමත්, අවිෂ්ක ප්‍රනාන්දුගේ (නොදැවී 30) සහ භානුක රාජපක්ෂගේ (නොදැවී 42) දක්ෂ පිතිහරඹයත් හමුවේ අබුඩාබිහි ශෙයික් සයිඩ් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයේදී නැමීබියාවට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. ශ්‍රී ලංකාව සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදී කණ්ඩායමේ නායකත්වය දැරූ බන්දුල වර්ණපුර මහතාගේ අභාවයට ශෝකට පළ කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කළු පටි පැළඳ මෙම තරගයට ක්‍රීඩා කළහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 97 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 13.3 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. තෙවැනි කඩුල්ල‍ වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 74 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ අවිෂ්ක සහ භානුක ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කළහ. එහිදී පන්දු 27 කට මුහුණදුන් භානුක හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසූ අතර පන්දු 28 කදී වාර්තා වූ අවිෂ්කගේ ඉනිම හයේ පහර 2 කින් සමන්විත විය.

මුලු ලකුණු සංඛ්‍යාව 14 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු 11 කට පිටියෙන් ඉවත් කිරීමට රුබෙල් ට්‍රම්පල්මාන් සමත් විය. සෙසු ආරම්භක පිතිකරුවා වූ පැතුම් නිස්සංකටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොලැබුණු අතර බර්නාඩ් ශුල්ස් පන්දුවක් හමුවේ ජේ.ජේ. ස්මිත් අත‍ට උඩ පන්දුවක් දෙමින් ඔහු ලකුණු 5 කට දැවී ගියේය. තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල් ලකුණු අතරට පැමිණීමට අසමත් වූ අතර ජේ.ජේ. ස්මිත්ගේ ගොදුරක් බවට පත්වන විට පන්දු 12 කට මුහුණදී සිටි ඔහු ලබා සිටියේ ලකුණු 5 ක් පමණි.

කාසියේ වාසිය දිනූ ශ්‍රි ලංකා නායක දසුන් ශාන‍කයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් නැමීබියාව ඕවර 19.3 අවසානයේ ලකුණු 96 කට සීමා කිරීමට මහේෂ් තීක්ෂණ ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී නැමීබියානු පිතිකරුවන් 8 දෙනෙකුම ලකුණු 10 සීමාව පසුකර යෑමටත් පෙර ආපසු ගොස් ක්‍රීඩාගාරයේ අසුන් ගත්හ.

තමන් යැවූ පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරු ස්ටෙෆාන් බාර්ඩ් දවාගත් තීක්ෂණ ආරම්භයේදීම නැමීබියානු කණ්ඩායම පීඩනයට පත්කළේය. මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හරසංග අත‍ට උඩ පන්දුවක් දෙමින් දැවී යන විට බාර්ඩ් ලබා සිටියේ ලකුණු 7 ක් පමණි. ඉන් නොනැවතුණ තීක්ෂණ, නායක දසුන් ශානක සමග එක්ව සෙසු ආරම්භක පිතිකරුවා වූ සේන් ග්‍රීන්ගේ ඉනිමද ලකුණු 8 කට සීමා කළේ නැමීබියානු ලකුණු පුවරුව ලකුණු 29 කට කඩු 2 ක් බවට පත්කරමිනි.

ළහිරු කුමාර විසින් යවන ලද නැමීබියා ඉනිමේ 9 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ‍නායක ජෙරාඩ් එරැස්මස් කඩුල්ල මුවාකළ බවට ශ්‍රී ලංකා පන්දු රකින්නෝ ඉල්ලීමක් කළද ප්‍රධාන විනිසුරු එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ප්‍රධාන විනිසුරුගේ තීරණය සමග එකඟ නොවූ ශ්‍රී ලංකා නායකයා එය විනිසුරු තීරණ විමසීමේ ක්‍ර‍මවේදයට යොමුකළ නමුත් පුනුරූපණ නැරඹීමෙන් පසුව ප්‍රධාන විනිසුරු‍ගේ තීරණය තහවුරු කළ තෙවැනි විනිසුරුවරයා, එරැස්මස් නොදැවුණ ක්‍රීඩකයකු බව සනාථ කළේය.

ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ නැංවීමේ උත්සාහයක නිරත වූ එරැස්මස් පන්දු 19 කදී හතරේ පහර 2 ක් සමග ලකුණු 20 ක් රැස්කළේය. එහෙත් ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ ලොන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග අත‍ට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී යෑමත් සමග නැමීබියානු ඉනිමේ කඩා වැටීම ආරම්භ විය. දක්ෂ උඩ පන්දු රැකීමක නිරත වෙමින් එරැස්මස් පිටියෙන් ඉවත් කළ හසරංග, ඊළඟ ඕවරයේදීම ක්‍රෙග් විලියම්ස්ද (29) කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගත්තේය.

එරැස්මස්ගේ දැවී යෑමෙන් පසු ලකුණු 28 ක් තුළ නැමීබියානු ඉනිම නිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී ජේ.ජේ. ස්මිත් නොදැවී ලකුණු 12 ක් ලබා නැමීබියානු ඉනිම අවසන් වන තෙක් කඩුල්ලේ රැදී සිටියද ඔහු‍ට වැඩි යමක් කිරීම‍ට නොහැකි විය. ජෑන් ෆ්‍රයිලින්ක්ගේ කඩුල්ල බිඳ දමමින් සිය කඩුලු සංඛ්‍යාව 3 ක් දක්වා ඉහළ දමාගැනිමට තීක්ෂණ සමත් වෙද්දී, කඩුලු 4 ක් වේග පන්දු යවන්නන් අතරේ බෙදී ගියේය.

 


අදහස් (1)

අවිෂ්ක - භානුක ශ්‍රී ලංකා ජයග්‍රහණය ඉක්මන් කරති
  • sam Tuesday, 19 October 2021 06:04 AM

    චන්දිමාල් ඔච්චර පරිණත ක්‍රීඩකයෙක් වෙලත්, තවම ලකුණු අතරට එන්න බැරි වෙලා ගහන ගහන හැම මැච් එකේදීම ෆේල්, ෆේල්, ෆේල්... දැන් ඉතින් ඇති නේද? මේ ගොයියා තියාගෙන නිකන් බෝල නාස්ති කරන්නේ නැතිව වෙන කෙනෙකුට තැන දුන්නා නම් හොඳයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.