Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අවසන් පදක්කම් බලාපොරොත්තුවත් සුන්වෙයි

අවසන් පදක්කම් බලාපොරොත්තුවත් සුන්වෙයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි සත් සාමාජික රග්බි ඉසව්වේ තෙවැනි ස්ථානය තේරීම සඳහා අද (1 වැනිදා) පැවැති තරගයේදී කොරියාව හමුවේ ලකුණු 36-14 ක් ලෙස පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට එම ඉසව්වේ සිවුවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. රග්බි කණ්ඩායම ලැබූ එම පරාජයත් සමග ශ්‍රී ලංකාව මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී තබා තිබූ අවසන් පදක්කම් බලාපොරොත්තුවද සුන්වී ගියේය.

තෙවැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී ගෝල දිනුම් 3 ක් සහ උත්සාහක දිනුම් 3 ක් සමගින් කොරියාව ලකුණු රැස්කළ අතර එහිදී ශ්‍රී ලංකාවට ලබාගත හැකි වූයේ ගෝල දිනුම් 2 ක් පමණි. තරින්ද රත්වත්තේ සහ චාල්ස් දිසානායක ශ්‍රී ලංකාව වෙනුවෙන් උත්සාහක දිනුම් 2 ක් වාර්තා කළ අතර එම උත්සාහක දිනුම් දෙකේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට තරින්ද රත්වත්තේ සමත් විය.

පළමු අවසන් අවසන් පූර්ව තරගයේදී ලකුණු 12-10 ක් ලෙස ජපානය හමුවේ පරාජය වීම නිසා ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය තේරීමේ තරගය සඳහා සහභාගි වීමට සිදුවිය. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම උත්සාහක දිනුම් 2 ක් සමගින් ලකුණු ලබාගත් අතර ජපානය ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ උත්සාහක දිනුමක් සමගිනි. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කවිඳු පෙරේරා සහ සුදර්ශන මුතුතන්ත්‍රි උත්සාහක දිනුම බැගින් වාර්තා කළහ. එහෙත් එම උත්සාහක දිනුම්වල ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට ශ්‍රීනාත් සූරියබණ්ඩාර අසමත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට බෙහෙවින්ම බලපෑවේය.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේ අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී චීනයට එරෙහිව ලකුණු 17-12 ක ජයක් වාර්තා කරමිනි. ‘සී’ කාණ්ඩය යටතේ තරගාවලියට එක්වූ ශ්‍රී ලංකාව, මූලික වටයේ තරගවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 68-0 කින්ද, ඇෆ්ගනිස්තානය ලකුණු 36-0 කින්ද පරාජය කළ අතර කොරියාව හමුවේ ලකුණු 31-26 ක පරාජයක් ලැබීය.

 

- 036

 

 

 

 


අදහස් (0)

අවසන් පදක්කම් බලාපොරොත්තුවත් සුන්වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.