
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගය (2025-26) හෙට (14 වැනිදා) ආරම්භ වන අතර එහි සමාරම්භක තරගවලදී හැව්ලොක්ස් කණ්ඩායමට එරෙහිව නාවික හමුදා කණ්ඩායම හැව්ලොක්ස් පිටියේදීද, සී.එච්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායමට එරෙහිව පොලිස් කණ්ඩායම කොළඹ තුරඟ තරග පිටියේදී තරග බිමට පිවිසෙනු ඇත.
ක්‍රීඩා සමාජ 9 ක් තරග වදින මෙම තරගාවලියේ මූලික වටය සති 9 ක් පුරා පැවැත්වෙන අතර සෑම සතියකම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා යන දිනවලදී තරග 4 ක් පැවැත්වීමට නියමිතය. කෙසේ වුවත් නත්තල් නිවාඩුව හේතුවෙන් දෙසැම්බර් මස අවසන් සතියේදී තරග නොපැවැත්වෙනු ඇත.
ඒ අනුව මූලික වටයේදී පැවැත්වීමට නියමිත මුළු තරග සංඛ්‍යාව 36 ක් වන අතර සෑම සතියකදීම කණ්ඩායම් 8 ක් තරග වදින විට එක් කණ්ඩායමකට විවේකයක් හිමිවනු ඇත. තරගාවලියේ මූලික වටය ජනවාරි මස 26 වැනිදායින් නිමාවට පත්වීමට නියමිතය.
මූලික වටය අවසානයේ ලකුණු සටහනේ පළමු ස්ථාන 4 ට පත්වන කණ්ඩායම් දෙවැනි වටයේදී කුසලාන ශූරතාව සඳහා තරග වැදීමට අවස්ථාව උදාකරගනු ඇත. එහි 5 වැනි ස්ථානයේ සිට 8 වැනි ස්ථානය දක්වා කණ්ඩායම්වලට දෙවැනි වටයේදී පළඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට සිදුවනු ඇත.
කෙසේ වුවත් පෙර පැවැති තරග රටාව වෙනස් කරමින් මෙවර තරගාවලියට අලුත් මුහුණුවරක් එක් කර ඇති අතර එහිදී කුසලාන ශූරතාව සහ පළඟ ශූරතාව සඳහා අවසන් මහ තරග දෙකක් පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු යොදා තිබේ. ඒ ඒ ශූරතා සඳහා දෙවැනි වටයේදී පැවැත්වෙන තරග අවසානයේ පළමු සහ දෙවැනි ස්ථාන වලට පත්වන කණ්ඩායම් අතර එම අවසන් මහ තරග පැවැත්වෙනු ඇත.
තවද නවතම තරග රටාව අනුව මූලික වටය අවසානයේ ලකුණු සටහනේ අවසන් (9 වැනි) ස්ථානයට පත්වන කණ්ඩායමට දෙවැනි වටයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වන අතර ක්ලිෆර්ඩ් කුසලාන පිළිමළුන් පිටු දැකීමේ තරගාවලියට සහභාගි වීම සඳහා ඔවුන් ලීග් තරගාවලියේ 8 වැනි ස්ථානයට පත්වන කණ්ඩායමට එරෙහිව තරග වැදී ඉන් ජය ලැබිය යුතුය.
ගියවර (2024-25) රග්බි ලීගයේ ශූරයන් වූ මහනුවර කණ්ඩායමට මෙවර තරගාවලියේ පළමු සතියේදී විවේකයක් හිමිව තිබේ. පළමු සතියේදී තවත් තරග 2 ක් පැවැත්වීමට නියමිතව ඇති අතර සෙනසුරාදා (15 වැනිදා) පැවැත්වෙන එම තරග දෙකේදී ගුවන් හමුදාවට එරෙහිව යුද හමුදාව රත්මලාන ගුවන් හමුදා ක්‍රිඩාංගණයේදීත්, ශ්‍රී ලයන්ස් කණ්ඩායමට එරෙහිව සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම සී.ආර්. ක්‍රීඩාංගණයේදීත් තරග බිමට පිවිසෙනු ඇත. පළමු සතියේ සියලුම තරග පස්වරු 4.00 ආරම්භ වීමට නියමිතය.
සෑම තරගයකම ජයග්‍රාහකයන් සඳහා ලකුණු 5 ක් පිරිනැමෙන අතර තරගයක් සම වුවහොත් කණ්ඩායම් දෙකටම ලකුණු 3 බැගින් හිමිවනු ඇත. කණ්ඩායමකට ප්‍රසාද ලකුණක් හිමිවන්නේ උත්සාහක දිනුම් 4 කට වැඩියෙන් වාර්තා කළහොත් හෝ ප්‍රතිවාදී කණ්ඩායම හමුවේ ලකුණු 7 කට අඩු පරතරයකින් පරාජයට පත්වුව හොත් පමණි.
පළමු සතියේ තරග කාලසටහන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.