Last Update  :  2025-07-27 21:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story අටවැනි වරටත් ඉන්දියාව අවසන් මහ තරගයට
‍යොවුන් ලෝක කුසලාන

අටවැනි වරටත් ඉන්දියාව අවසන් මහ තරගයට

editorial - 2022 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රික‍ට් තරගවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය යොවුන් කණ්ඩායම සමත් විය. ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේදී ඊයේ (2 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට එරෙහිව ලකුණු 96 ක ජයක් වාර්තා කරමින් ඉන්දියාව අවසන් මහ තරගයට පිවිසියේය.

ඒ අනුව වසර 24 කට පසුව යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයකට සුදුසුකම් ලබා සිටින එංගලන්තයට එරෙහිව අනිද්දා (5 වැනිදා) ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී ඉන්දියාව ශූරතාව වෙනුවෙන් තරග බිමට පිවිසෙනු ඇත. අවසන් පූර්ව වටයේදී පරාජය‍ට පත්වූ ඇෆ්ඝනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව හෙට (4 වැනිදා) තරගාවලි‍යේ තෙවැනි ස්ථානය වෙනුවෙන් කූලිජ් ක්‍රීඩාංගණයේදී තරග වදිනු ඇත.

යොවුන් ලෝක කුසලාන 4 කට හිමිකම් කියන ඉන්දියාව එම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ 8 වැනි අවස්ථාව මෙය විය. මින් පෙර 2000, 2008, 2012 සහ 2018 යන වසරවලදී පිළිවෙලින් මොහොමඩ් කයිෆ්, විරාට් කෝලි, අන්මුක්ත් චන්ද් සහ ප්‍රිත්වි ෂෝ යන ක්‍රීඩකයන්ගේ නායකත්වට යටතේ යොවුන් ලෝක කුසලාන දිනාගත් ඉන්දියාව 2006, 2016 සහ 2020 වසරවලදී එහි අනු ශූරතාවට හිමිකම් කීවේය.

අවසන් පූර්ව තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 291 ක ඉලක්කයක් හඹාගිය ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමට විකී ඔස්ට්වාල් ප්‍රමුඛ ඉන්දීය යොවුන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 41.5 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි ව‍ූයේ ලකුණු 194 ක් පමණි. එහිදී ඔස්ට්වාල් කඩුලු 3 ක්ද, නිෂාන්ත් සින්ධු සහ රවී කුමාර් කඩුලු 2 බැගින්ද බිඳහෙළමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ජයග්‍රාහී ම‍ාවත අවහිර කළහ.

ඕස්ට්‍රේලියානු යොවුන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලැච්ලන් ෂෝ පන්දු 66 කදී හතරේ පහර 4 ක් සමග ලකුණු 51 ක් රැස්කළ අතර කෝරි මිලර් පන්දු 46 කදී හතරේ පහර 6 ක් සමග ලකුණු 38 ක්ද, ආරම්භක පිතිකරු කැම්බල් කැලවේ පන්දු 53 කදී හතරේ පහරක් සමග ලකුණු 30 ක්ද රැස්කළහ. කෙසේ වුවත් ඔවුන් කිසිවකුට සිය කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය යොවුන් කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 290 ක් රැස්කළේය. ලකුණු 37 කට කඩුලු 2 ක් බිඳවැටී තිබියදී ශයික් රෂීඩ් (94) සමග එක්වූ නායක යෂ් ධූල් (110) තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 200 කදී ලකුණු 204 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

ජැක් නිස්බෙට්‍ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ දුවද්දී දැවී යෑමකට හසුවෙමින් ධූල් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත්විය. එහිදී පන්දු 110 කට මුහුණදුන් ධූල් හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් සිය ශතකය සැරසුවේය. පන්දු 108 කදී හයේ පහරක් සහ හතරේ පහර 8 ක් සමග ලකුණු රැස්කරමින් සිටි රෂීඩ්, ශතකය පෙනි පෙනී සිටියදී ජැක් නිස්බෙට්ගේ පන්දුවක් හමුවේ ටොබිස් නෙල් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.

ඉන්දීය යොවුන් පිල - ඕවර 50 කදී කඩුලු 5 ක් දැවී 290

(ශයික් රෂීඩ් 94, යෂ් ධූල් 110, දිනේෂ් බානා නොදැවී 20, ජැක් නිස්බෙට් 41/2, විලියම් සේල්ස්මාන් 57/2)

ඕස්ට්‍රේලියානු යොවුන් පිල - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 194

(කැම්බල් කැලවේ 30, කෝරි මිලර් 38, ලැච්ලන් ෂෝ 51, ජැක් සින්ෆීල්ඩ් 20, විකී ඔස්ට්වාල් 42/3, නිෂාන්ත් සින්ධු 25/2, රවී කුමාර් 37/2)

 

-036


අදහස් (0)

අටවැනි වරටත් ඉන්දියාව අවසන් මහ තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.