Last Update  :  2024-09-18 11:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කළුපහන නායකත්වයේ බර කරට ගනී
යොවුන් ටෙස්ට් තරගය

කළුපහන නායකත්වයේ බර කරට ගනී

editorial - 2024 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම - දමින්ද විජේසූරිය)

පළමුව පන්දුවට පහරදීමට සිදුවූ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ කඩුලු 4 ක් ලකුණු 37 කට බිඳ වැටුණේය. එහෙත් නායකත්වයේ බර කරපින්නාගත් පිතිහරඹයක නිරත වූ දිනුර කළුපහන ශ්‍රී ලංකා කණ්ඩායම වැටී සිටි අගාධයෙන් ගොඩගත්තේය. වෝර්ම්ස්ලේහිදී සඳුදා (8 වැනිදා) ආරම්භ වූ ශ්‍රී ලංකා - එංගලන්ත යොවුන් ටෙස්ට් තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම නිසා පළමු දිනයේ ක්‍රීඩාව නතර කරන විට දිනුර කළුපහන නොදැවී ලකුණු 70 ක් ලබා සිටියේය. 

ශ්‍රී ලංකා යොවුන් නායකයා, පසුපෙළ පිතිකරු දිනිරු අබේවික්‍රමසිංහ සමගින් එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ද ගොඩනංවා තිබිණ. 

කාසියේ වාසිය උරගාබලන අවස්ථාවේදී අහස වළාකුළෙන් බරව තිබිණ. කිසිදු පැකිලීමකින් තොරව පන්දු යැවීම තෝරාගත් එංගලන්ත යොවුන් නායක හම්සා ශායික්, සිය වේග පන්දු යවන්නා වන ඇලෙක්ස් ෆ්‍රෙන්ච් යොදාගනිමින් ශ්‍රී ලංකා යොවුන් පිලේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවීය. ඇලෙක්ස් ෆ්‍රෙන්ච් සරේ ප්‍රාන්තයේ දෙවැනි පෙළ කණ්ඩායම නියෝජනය කරන වේග පන්දු යවන්නෙකි. දෙවැනි ස්ලිප් හි පන්දු රකිමින් සිටි ෆ්‍රෙඩී මැකෑන්ට පහසු උඩපන්දු දෙකක්ම ලැබිණ. 

පුලිඳු පෙරේරා, සදෙව් සමරසිංහ සහ ගයන වීරසිංහ තිදෙනාම ස්ලිප් කලාපයට උඩපන්දු දෙමින් දැවී ගියහ. පිතිකරු ලයිස්තුවේ ඉහළින් පැමිණි ශාරුජන් ශන්මුගනාදන් දුවද්දී දැවී ගියේ පිතිකරුවන් දෙදෙනාම පන්දු යවන්නාගේ අන්තයක තනිවීමෙන් පසුවය. 

ශාරුජන්ගේ දැවී යාමෙන් පසුව මහීත් පෙරේරා සමගින් එක්වූ නායකයා ලකුණු සංඛ්‍යාව 103 ක් දක්වා ඉදිරියට ගෙන ගියද දෙවැනි වරටත් වර්ෂාවෙන් බාධා වීමට විනාඩි කිහිපයකට පෙර මහීත් පෙරේරා දැවී ගියේය. තරගයේ පළමු හෝරාව නිමා වන විට ලකුණු 37 ක් ඇතුළත පිතිකරුවෝ සිව් දෙනෙක්ම දැවී ගොස් සිටියහ. 
ලකුණු 49 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් තරගය පැය දෙකක පමණ කාලයක් නතර කර තිබිණ. 

තරගය නැවතත් ආරම්භ වීමෙන් පසුව අබේවික්‍රමසිංහ තරමක් ආක්‍රමණශීලී පිතිහරඹයකට පිවිසියේය. නායක දිනුර කළුපහනට කඩුල්ල ආරක්‍ෂා කරගන්නට ඉඩදුන් පසුපෙළ පිතිකරුවා, පන්දු 41 කින් ලකුණු 35 ක් ලබාගත්තේ හතරේ පහර 6 ක් සිය ඉනිමට එකතු කරමිනි. පැය දෙකකට වැඩි කාලයක් කඩුල්ල ආරක්‍ෂාකරගත් කළුපහන, පන්දු 115 කින් 9 ක් හතරේ සීමාවෙන් එපිටට යැවූයේ ඒවායින් එකක් හතරේ සීමාවට ඉහළින් යවමිනි. පළමු දිනය අවසානයේදී ක්‍රීඩාව නතර කරන විට නායක කළුපහන සහ දිනිරු අබේවික්‍රමසිංහ හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනංවා තිබිණ. 

- ක්‍රික් ඉන්ෆෝ ඇසුරිනි


අදහස් (0)

කළුපහන නායකත්වයේ බර කරට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.