Last Update  :  2025-06-08 20:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Test Cricket ශ්‍රී ලංකා සංචිතය තරුණයන්ගෙන් පුරවයි
ලෝක ටෙස්ට් ශූරතාවලිය 2025 - 2027

ශ්‍රී ලංකා සංචිතය තරුණයන්ගෙන් පුරවයි

editorial - 2025 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විත සංචිතයක් නම්කර තිබේ. සාමාන්‍යයෙන් ටෙස්ට් තරගාවලියක් සඳහා නම්කරනු ලබන්නේ ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් සමන්විත සංචිතයක් වුවද, මෙවර තරගාවලියට ක්‍රීඩකයන් 17 දෙනකු ඇතුළත් කර ඇත්තේ පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියෙන් සමුගන්නා බැවිනි. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය ටෙස්ට් ලෝක ශූරතාවලියේ 2025 - 2027 චක්‍රය සඳහා වන ආරම්භක තරගාවලිය ද වෙයි. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතයට තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත් කරනු ලැබ ඇත. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් තරගය මේ මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වෙයි. ටෙස්ට් ලෝක ශූරතාවලියේ දෙවැනි තරගය මේ මස 20 වැනිදා එංගලන්තය සහ ඉන්දියාව අතර එංගලන්තයේ ලීඩ්ස්හිදී ආරම්භ වේ. එහි තුන්වැන්න ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 25 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වන තරගයයි.
 
වසර 2021 දී ආරම්භ කරන ලද ටෙස්ට් ලෝක ශූරතාවලියේදී ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ඉහළම ස්ථානය වන්නේ 2021 - 2023 චක්‍රයේදී පස්වැනි ස්ථානය ලබාගැනීමයි. එම චක්‍රයේදී ටෙස්ට් තරග 12 කට සහභාගි වූ ශ්‍රී ලංකාව ඒවායින් තරග 5 ක් ජයගනිමින් 44.44% ක ජයග්‍රාහී ප්‍රතිශතකයක් රඳවා ගත්තේය. 2023 - 2025 චක්‍රයේදී තරග 13 කට සහභාගි වූ නමුත් තරග 5 ක් ජයගත් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී ප්‍රතිශතය වූයේ 38.46% කි. 

එන්.සී.සී. පිලේ ළහිරු උදාර ශ්‍රී ලංකා සංචිතයට එක්වන්නේ ඉදිරිපෙළ පිතිකරුවකු ලෙසිනි. පළමු පෙළ තරග 105 කදී ලකුණු 7300 ක් ඉක්මවා රැස්කරගෙන සිටින ළහිරු උදාරගේ පළමු පෙළ ඉනිමක සාමාන්‍යය 41.98 කි. සී.සී.සී. පිල වෙනුවෙන් ක්‍රීඩා කරන පවන් රත්නායක ඉදිරිපෙළ දකුණත් පිතිකරුවෙකි. පළමු පෙළ තරග 49 කදී ලකුණු 3068 ක් ලබාසිටින පවන් රත්නායකගේ හොඳම පළමු පෙළ ඉනිම ලකුණු 240 කි. ඉනිමක සාමාන්‍යය 47.20 කි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකත්වය දැරූ පසිඳු සූරියබණ්ඩාර කලක සිටම ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරටුවට තට්ටු කරමින් සිටින්නෙකි. මුවර්ස් පිල නියෝජනය කරන සූරියබණ්ඩාර, පළමු පෙළ තරග 52 කදී ලකුණු 3981 ක් ලබා සිටින අතර ඔහුගේ හොඳම ඉනිම ලකුණු 242 කි. කුඩා කල සිටම දෑතින්ම පන්දු යැවීමේ හැකියාව ඇති හෙයින් “දෑතා” යයි සිය ක්‍රිකට් සගයන් අතර ප්‍රචලිතව සිටින තරිඳු රත්නායක ද්‍රවිඩ සංගම් ක්‍රීඩා සමාජය නියෝජනය කරයි. 

ටෙස්ට් තරග 6 කට සහභාගි වී ඇති අකිල ධනංජයගේ නමට ඉදිරියෙන් සටහන් වී ඇති කඩුලු සංඛ්‍යාව 33 කි. වසර හයකට පසුව සංචිතයට ඇතුළත්ව සිටින අකිල ධනංජය පසුගියදා නිමා වූ අන්තර් පළාත් තරගාවලියේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් අති විශිෂ්ට දස්කම් දක්වමින් තරග 5 කදී කඩුලු 37 ක් දවාගත්තේය.  

වමතින් දඟ පන්දු යවන සොනාල් දිනූෂ සහ දකුණතින් වේග පන්දු යවන්නා වන මිලාන් රත්නායක දෙනොම තුන් ඉරියව් ක්‍රීඩකයන් වීමේ හැකියාව ඇතත්, ඒ වෙනුවෙන් තව බොහෝ දුර යා යුතු ක්‍රීඩකයන් දෙදෙනෙකි. 


ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය
ධනංජය ද සිල්වා (නායකයා), පැතුම් නිස්සංක, ඕෂධ ප්‍රනාන්දු, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කමිඳු මෙන්ඩිස්, කුසල් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අකිල ධනංජය, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, ළහිරු උදාර, පවන් රත්නායක, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, තරිඳු රත්නායක සහ මිලාන් රත්නායක


අදහස් (0)

ශ්‍රී ලංකා සංචිතය තරුණයන්ගෙන් පුරවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.