Last Update  :  2025-05-19 21:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ලිටන් දාස් බංග්ලාදේශ විස්සයි-20 නායකත්වයට

ලිටන් දාස් බංග්ලාදේශ විස්සයි-20 නායකත්වයට

editorial - 2025 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ කණ්ඩායමේ විස්සයි-20 නායකයා වශයෙන් ලිටන් දාස් පත්කර තිබේ. බංග්ලාදේශ කණ්ඩායම පූර්ණ තරග සංචාරයක් (ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක්) සඳහා ලබන මාසයේ දෙවැනි සතියේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 

බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම පියවර ගෙන ඇත්තේ ලබන වසර මුලදී ශ්‍රී ලංකාවේදී සහ ඉන්දියාවේදී පැවැත්වෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියත් ඉලක්ක කරමිනි. 26 හැවිරිදි නජ්මුල් හොසේන් ශන්ටෝ මෙම වසර මුලදී බංග්ලාදේශයේ විස්සයි20 නායක ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ලිටන් දාස් එම තනතුරට පත් කර තිබේ. 

බංග්ලාදේශ කණ්ඩායම මැයි 17 සහ 19 යන දිනවල සාජා හිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව විස්සයි20 තරග දෙකකට සහභාගී වනු ඇත. ඉන්පසුව, ඔවුන් මැයි 25 වන දින ආරම්භ වන තරග පහකින් යුත් විස්සයි20 තරගාවලියකට සහභාගී වීම සඳහා පාකිස්තානය බලා පිටත්ව යනු ඇත. එම තරගාවලිය ජුනි 3 වන දින අවසන් වේ.

කඩුලු රකින පිතිකරුවකු වන ලිටන් දාස්ගේ උප නායකයා ලෙස පිට දඟ පන්දු යවන මෙහෙදි හසන් පත් කර තිබේ. 

ලිටන් දාස් මේ වන විටත් සිය කණ්ඩායම සඳහා පැහැදිලි මෙන්ම ප්‍රායෝගික දැක්මක් ඉදිරිපත් කර ඇත. එය දැඩි ක්‍රියා කලාපයක් නොවන නමුත් තරඟ තත්වයන්ට අනුවර්තනය වීම කෙරෙහි ඔහු අවධානය යොමු කර තිබේ. 

“මම ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂිත තරග රටාවක් පිළිබඳ කතා කරන්න යන්නේ නැහැ. මොකද සමහර තරඟ වලදී අපට ලකුණු 180 ක් නැත්නම් 200 ක් විතර හඹා යන්න සිදුවේවි. ඒත් තවත් තරඟ වලදී අපගේ ඉලක්කය 140 ක් නැත්නම් 145 ක් විතර වේවි. කොහොම වුණත් අවසාන ඉලක්කය වන්නේ තරගය ජයග්‍රහණය කිරීමයි” යයි ලිටන් දාස් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවියට පවසා තිබේ. 

නව නායකයා, තරගයක පවතින තත්ත්වය තක්සේරු කරමින් නම්‍යශීලීභාවයත් තරගය සම්බන්ධයෙන් තිබිය යුතු දැනුවත්භාවයත් අවධාරණය කරයි. පිතිකරුවෙකුගේ භූමිකාව තරගයෙන් තරගයට වෙනස් විය හැකි බව ද ඔහු අවධාරණය කර තිබේ. 

“පිතිකරුවෙකුට එක් තරඟයකදී පන්දු 20 කින් ලකුණු 40 ක් අවශ්‍ය වෙන්න පුළුවන්. ඒත් ඊළඟ තරඟයේදී පන්දු 20 කින් ලකුණු 15 ක් ලබා ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ සෑම ක්‍රීඩකයෙකුම ක්‍රීඩාවට සම්බන්ධ කර ගැනීමට මට අවශ්‍යයි”  

“බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියට යාමට නම්, ක්‍රීඩකයින් දස්කම් දැක්විය යුතුයි. ඔවුන් තම තමන්ගේ නිශ්චිත භූමිකාවන් ඉටු කළ යුතුයි. ඒ වගේම ක්‍රීඩකයන් සහ මා අතර හොඳ සන්නිවේදනයක් තිබිය යුතුයි. 

“මට වැඩි කාලයක් ලැබෙන තරමට, මම කණ්ඩායම් කටයුතුවලට සම්බන්ධ වෙනවා” යයි ද ලිටන් දාස් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නිල වෙබ් අඩවියට පවසා තිබේ. 


- 213


අදහස් (0)

ලිටන් දාස් බංග්ලාදේශ විස්සයි-20 නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.