Last Update  :  2026-01-23 18:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket ඕස්ට්‍රේලියානු යෞවනයෝ ශ්‍රී ලංකාව පාගා දමති

ඕස්ට්‍රේලියානු යෞවනයෝ ශ්‍රී ලංකාව පාගා දමති

editorial - 2026 ජන මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සිම්බාබ්වේදී සහ නැමීබියාවේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටය යටතේ අද (23 වැනිදා) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයකදී ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු වයස 19 න් පහළ කණ්ඩායම සමත් විය. 

මෙම ජයග්‍රහණයත් සමග තවදුරටත් අපරාජිත බව රැකගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායම සමත් විය. එහිදී ලැබූ පරාජයත් සමග පිට පිටම තරග 2 ක් ජයගනිමින් ශ්‍රී ලංකාව රඳවාගෙන සිටි අපරාජිත බව බිඳවැටිණු අතර ඔවුන් ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය දක්වා පහළට ඇද වැටිණ.  
 
ජයග්‍රහණය සඳහා ලකුණු 59 ක පහසු ඉලක්කයක් හඹාගිය ඕස්ටේ්‍රලියානු යොවුන් ක්‍රීඩකයෝ ඕවර 12 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය සපුරාගත්හ. නිතේෂ් සැමුවෙල් පන්දු 40 කදී නොදැවී ලකුණු 19 ක්ද, ස්ටීව් හෝගන් පන්දු 27 කදී හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 28 ක්ද රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

මුලු ලකුණු සංඛ්‍යාව 4 ක්ව තිබියදී ඕස්ට්‍රේලියානු යොවුන් කණ්ඩායමේ ආරම්භක පිතිකරු විල් මලජ්සුක්ගේ කඩුල්ල බිඳ දැමීමට රිසිත් නිම්සර සමත් වූ නමුත් අද තරගයේදී පන්දු යැවූ සෙසු ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ එක් කඩුල්ලක් හෝ දවාගැනීමට අපොහොසත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට විල් බයිරොම් ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු යොවුන් පන්දු යවන්නන්ගේ විශිෂ්ඨ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 58 ක් පමණි. එහිදී ඕවර 6.5 ක් යවමින් ලකුණු 14 කට කඩුලු 5 ක් බිඳහෙළීමට බයිරොම් සමත් විය. 

තවමත් 17 වැනි වියේ පසුවන බයිරොම් යොවුන් එක්දින ජාත්‍යන්තර තරගයකදී වාර්තා කළ හොඳම පන්දු යැවීම මෙය වූ අතර මෙම පන්දු යැවීම හේතුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානයද හිමිවිය. ශ්‍රී ලංකා යොවුන් ඉනිම සුනුවිසුණු කර දැමීම සඳහා ඔහුට අනගි සහායක් දුන් කාසි බාර්ටන් සහ චාල්ස් ලැචමුන්ඩ් කඩුලු 2 බැගින් දවාගත්හ. 

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ චාමික හීනටිගල පන්දු 21 කදී හතරේ පහරක් සමග ලකුණු 14 ක් රැස්කළ අතර ඔහු සහ කවිජ ගමගේ (10) හැරුණු කොට සෙසු සියලුම ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ට ලකුණු 10 සීමාව ඉක්මවා යෑමටත් මත්තෙන් ක්‍රීඩාංගණයෙන් ඉවත්ව යෑමට සිදුවූහ. 


-036


අදහස් (0)

ඕස්ට්‍රේලියානු යෞවනයෝ ශ්‍රී ලංකාව පාගා දමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.