Last Update  :  2025-10-30 19:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව T20 Cricket දකුණු අප්‍රිකාව අවසන් තරගයට
කාන්තා ලෝක කුසලාන - 2025

දකුණු අප්‍රිකාව අවසන් තරගයට

editorial - 2025 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

කාන්තා ලෝක කුසලාන තරගයකදී දක්නට ලැබුණු අතිශය චමත්කාර පිතිහරඹයක නිරත වූ දකුණු අප්‍රිකානු නායිකා ලෝරා වුල්ෆාත් (169) සහ අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැරිසාන් කප් (20/5) ඉන්දියාවේ ගුවහටි නුවරදී ඊයේ (29 වැනිදා) පැවැති අවසන් පූර්ව තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 125 ක ජයක් කරා සිය කණ්ඩායම කැඳවාගෙන ගියහ. මෙම ජයත් සමගින් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. 

දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. 

සිය විශිෂ්ට පිතිහරඹයෙන් වූල්ෆාත් තම කණ්ඩායම ලකුණු 300 සීමාවෙන් ඔබ්බට කැඳවාගෙන ගියාය. චෝල් ටි්‍රයොන් පන්දු 26 කින් ලකුණු 33 ක් ලබාගත් අතර 50 වැනි ඕවරය නිමාවේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 7 කට 319 ක් ලබා තිබිණ. ලකුණු 320 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත කාන්තාවෝ ඕවර 42.3 කදි ලකුණු 194 කට දැවී ගියහ. සිය පළමු ඕවරයේදීම ඇමී ජෝන්ස් (0) සහ හෙදර් නයිට් (0) පිටියෙන් ඉවත් කළ මැරිසාන් කප් ඕවර 7 කදී ලකුණු 20 කට කඩුලු 5 ක් දවාගත්තාය. 

දකුණු අප්‍රිකානු කාන්තාවන් ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළේ පළමු තරගයේදීම එංගලන්තය හමුවේ ලකුණු 69 කට දැවී යාමෙනි. එහෙත් තරගාවලියේ මූලික වටය පුරාම විශිෂ්ට දස්කම් පෙන්වූ ලෝරා වූල්ෆාර්ත් ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ කල්වේලා ඇතිවම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ. මූලික වටයේ අවසන් තරගය වූ ඕස්ටේ්‍රලියානු පිලට එරෙහිව පැවැති තරගයේදීත් දකුණු අප්‍රිකානු කාන්තාවෝ ලකුණු 97 කට දැවී ගියහ. 

එයින් දින 4 කට පසුව, ඔව්හු එංගලන්තය හමුවේ කඩුලු 7 කට ලකුණු 319 ක් ලබාගත්හ. එතැන් සිට පැය තුනක් ගතවන්නටත් මත්තෙන් එංගලන්තය ලකුණු 125 කින් පරාජය කළහ. මේ ක්‍රිකට් ක්‍රීඩාවේ චමත්කාරයයි. 

“ඒ වගේ ඉනිමක් දැකිමත් සතුටක්. ඒක නායිකාවකගේ ඉනිමක්”
“මමත් මුලින් ටිකක් අමාරුවෙන් ගැහැව්වේ.. ඒත් වුල්ෆි මට ඒක පහසු කළා. නිසැකවම මේක පිතිකාරිණියන්ට යෝග්‍ය කඩුල්ලක්” යයි ලෝරා වූල්ෆාත්ටගේ සහාය ආරම්භක පිතිකාරිණය ටැස්මින් බි්‍රට්ස් පැවසුවාය. 

මෙය ලෝරා වූල්ෆාත්ගේ මංගල ලෝක කුසලාන ශතකයයි. 

ඉනිමේ අවසන් ඕවර 10 දී එංගලන්ත කාන්තාවන් කඩුලු 2 ක් දවාගත් නමුත් එම කාලය ඇතුළත යැවුණු පන්දු 60 න් දකුණු අප්‍රිකානු පිතිකාරිණියෝ ලකුණු 117 ක් ලබාගත්හ. එම ලකුණු 117 න් 68 ක් ලෝරා වූල්ෆාත් විසින් ලබාගන්නා ලද අතර තවත් ලකුණු 33 ක් චෝල් ටි්‍රයොන්ට අයිති විය. 

ඉනිමේ මැද කොටසේදී දකුණු අප්‍රිකානු පිලේ 3 වැනි කඩුල්ල ලකුණු 119 දී බිඳ වැටුණ නමුත් නායිකා වූල්ෆාත්ට එක්වූ මරිසාන් කප් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 72 ක සම්බන්ධතාවක් ගොඩනඟමින් දකුණු අප්‍රිකානු ඉනිම ශක්තිමත් කළහ. 40 වැනි ඕවරය වන විට මරිසාන් දැවීගොස් සිටි නමුත් ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරුවකු වූ ඇඩම් ගිල්ක්‍රිස්ට් 2007 ලෝක කුසලාන අවසන් තරගයේදී කළ පිතිහරඹය මතකයට කැඳවූ ලෝරා පන්දු 27 කින් ලකුණු 68 ක් ලබාගත්තාය. 
පන්දු යැවූ ලෝරින් බෙල්ගේ හිසට ඉහළින් ගැසූ පහරක් හේතුවෙන් 48 වැනි ඕවරයේදී දැවීයන විට ලෝරා වූල්ෆාත්ගේ ඉනිම හතරේ පහර 20 කින් සහ හයේ පහර 4 කින් සමන්විත විය. 

දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 7 ට 319 යි
(ලෝරා වූල්ෆාත් 169, ටැස්මින් බි්‍රට්ස් 45, මරිසාන් කප් 42, චෝල් ටි්‍රයොන් නොදැවී 33, නඩීන් ඩි’ක්ලර්ක් නොදැවී 11, සොෆී එක්සෙල්ටන් 44/4)

එංගලන්ත කාන්තා කණ්ඩායම - ඕවර 42.3 කදී සියලු දෙනා දැවී 194 යි
(නැතලි ෂිවර් බ්‍රන්ට් 64, ඇලිස් කැප්සි 50, ඩැනී වයිට්-හොජ් 34, ලින්සේ ස්මිත් 27, මැරිසාන් කප් 20/5, නඩීන් ඩි’ක්ලර්ක් 24/2)

- 213

 


අදහස් (0)

දකුණු අප්‍රිකාව අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.