Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School ශාන්ත ජෝෂප් දෙවැනි වරටත් ශූරතාව දිනයි

ශාන්ත ජෝෂප් දෙවැනි වරටත් ශූරතාව දිනයි

editorial - 2022 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ෂෙවෝන් ඩැනියෙල්...

(ශානුක අරවින්ද)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය යටතේ පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනාගැනීමට මරදාන ශාන්ත ජෝෂප් විදුහල අද (20 වැනිදා) සමත් විය. ශාන්ත ජෝෂප් විදුහල පිට පිටම ‘ඒ’ කොටසේ ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙය විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ අවසන් තරගයේ වීරයා බවට පත්විය.

ශූරතාව දිනාගැනීම වෙනුවෙන් ශාන්ත ජෝෂප් විදුහලට රුපියල් ලක්ෂ 3 ක මුදල් ත්‍යාගයක් සමග ශූරතා කුසලාන පිරිනැමුණ අතර අනු ශූරතාව වෙනුවෙන් රිච්මන්ඩ් විදුහලට රුපියල් ලක්ෂ දෙකහමාරක මුදල් ත්‍යාගයක් සමග අනු ශූරතා කුසලාන පිරිනැමිණ.

බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී ඊයේ (20 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල රිච්මන්ඩ් විදුහලට එරෙහිව ලකුණු 106 ක පහසු ජයක් වාර්තා කරමින් ශාන්ත ජෝෂප් විදුහල මෙවර ශූරතාව දිනාගත්හ. ජයගහණය සඳහා ලකුණු 257 ක ඉලක්කයක් හඹාගිය රිච්මන්ඩ් විදුහල් කණ්ඩායමට දුනිත් වෙල්ලාලගේගේ සහ දේෂාන් සෙනවිරත්නගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 41.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 151 ක් පමණි.  

වෙල්ලාලගේ ලකුණු 18 කට කඩුලු 3 ක්ද, දේෂාන් ලකුණු 26 කට කඩුලු 3 ක්ද දවාගනිමින් රිච්මන්ඩ් විදුහල් ඉනිම අඩපණ කළහ. සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් මල්ෂ තරුපති පන්දු 52 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 62 ක් රැස්කළද, ඔහුට රිච්මන්ඩ් විදුහල පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

වර්ෂාව හේතුවෙන් තරගයේ ඉනිමක් ඕවර 47 කට සීමා වූ අතර කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශාන්ත ජෝෂප් විදුහල එහිදී කඩුලු 9 ක් දැවී ලකුණු 257 ක් ලබාගත්තේය. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ෂෙවෝන් ඩැනියෙල් පන්දු 88 කදී ලකුණු 80 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමගිනි.

ආරම්භක පිතිකරු සදීෂ ජයවර්ධන (46) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 95 කදී ලකුණු 57 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩැනියෙල්, ඉන් නොනැවතී දුනිත් වෙල්ලාලගේ (42) සමග එක්ව පන්දු 82 කදී ලකුණු 86 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශාන්ත ජෝෂප් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහල දැමුවේය. අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ මුදිත ලක්ෂාන් පන්දු 19 කින් ලකුණු 34 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

රිච්මන්ඩ් විදුහල් කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ මල්ෂ තරුපති ලකුණු 50 කට කඩුලු 4 ක් දවාගත් අතර කල්ප නෙත්සර සහ හංසමාන ද සිල්වා කඩුලු 2 බැගින් එහිදී බිඳහෙළමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

මූලික වටයේදී කටුගස්තොට ශාන්ත අන්තෝනි, ගල්කිස්ස සාන්ත තෝමස්, මොරටුව ශාන්ත සෙබස්තියන්, මාතර ශාන්ත තෝමස් සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල් පරාජය කරමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ශාන්ත ජෝෂප් විදුහල, එහිදී කොළඹ වෙස්ලි විදුහල පරාජය කරමින් අපරාජිතව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.

ශාන්ත ජෝෂප් විදුහල විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව වටයේදී කඳාන ද මැසිනොද් විදුහලට එරෙහිව කඩුලු 5 ක ජයක් වාර්තා කරමිනි. අවසන් පූර්ව වටයේදී කොළඹ මහානාම විදුහලට එරෙහිව ලකුණු 139 ක ජයක් වාර්තා කරමින් රිච්මන්ඩ් විදුහල අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය.


ශාන්ත ජෝෂප් විදුහල - ඕවර 47 කදී කඩුලු 7 ක් දැවී 257
(සදීෂ ජයවර්ධන 46, ෂෙවෝන් ඩැනියෙල් 80, දුනිත් වෙල්ලාලගේ 42, දේෂාන් සෙනෙවිරත්න 18, මුදිත ලක්ෂාන් 34, මල්ෂ තරුපති 50/4,  කල්ප නෙත්සර 40/2, හංසමාන ද සිල්වා 48/2)

රිච්මන්ඩ් විදුහල - ඕවර 41.3 කදී සියලු දෙනා දැවී 151
(තමිඳු ප්‍රදීප්ත 16, මල්ෂ තරුපති 62, මලීෂ ද සිල්වා 18, කල්ප නෙත්සර 14, දුනිත් වෙල්ලාලගේ 18/3, දේෂාන් සෙනෙවිරත්න 26/3)

දුනිත් වෙල්ලාලගේ...

 

මල්ෂ තරුපති ...

 


අදහස් (0)

ශාන්ත ජෝෂප් දෙවැනි වරටත් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.