Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව School විශ්මිත විශ්මි තරග 8 කදී ලකුණු 900 යි
හෙට දිනයේ ශූරියෝ

විශ්මිත විශ්මි තරග 8 කදී ලකුණු 900 යි

editorial - 2022 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

අන්තර් පාසල් බාලිකා වයස 19 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලිය පුරා විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ ගම්පහ රත්නාවලී බාලිකා විදුහලේ විශ්මි ගුණරත්න, තරග 8 කදී ශතක 3 ක් සහ අර්ධ ශතක 2 ක් සමග ලකුණු 900 ක් රැස්කිරීමට සමත් වූවාය. එම තරග 8 න් 5 කදීම නොදැවී සිටීමට සමත්වීම හේතුවෙන් එහිදී ඇයගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය සටහන් වූයේ 300 ක් ලෙසිනි.

මෙහි විශේෂත්වය වන්නේ මෙම තරග සියල්ලම ඕවර 30 සීමිත ඕවර තරග වීමයි. ඇය මෙම ලකුණු 900 ම ලබාගෙන ඇත්තේ ඉනිම 8 කිනි. එහිදී සිය ලකුණු රැස්කිරීමේ ප්‍රහාරාත්මක වේගය (ප්‍රවේගය) 213.78 ක් ලෙස රඳවාගෙන ඇති ඇය, තරග 8 දී හයේ පහර 43 ක් සහ හතරේ පහර 113 ක් එල්ල කර තිබේ.

පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී පොලොන්නරුව ජයසිරිපුර කනිෂ්ඨ විදුහලට එරෙහිව පන්දු 128 කදී හයේ පහර 29 ක් සහ හතරේ පහර 49 ක් සමග නොදැවී රැස්කළ ලකුණු 417, මෙවර තරගාවලියේදී විශ්මිගේ හොඳම ඉනිම ලෙස සටහන් විය.

විශ්මිගේ එම ඉනිම මෙරට පාසල් ක්‍රිකට් තරගකදී ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද වාර්තා අතරට එක් විය. මින් පෙර පාසල් ක්‍රීඩිකාවක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවේ වාර්තාවට හිමිකම් කීවේ නොදැවී ලකුණු 374 ක් රැස්කළ නුගේගොඩ අනුලා විදුහලේ කෞෂිණී නුත්‍යංගා විසිනි.

තවමත් 16 වැනි වියේ පසුවන විශ්මි, මෙම වසරේ ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර වරම් හිමිකර ගත්තාය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙට සුදුසුකම් ලබාගැනීම සඳහා මැලේසියාවේදී පැවැති සුදුසුකම් ලැබීමේ (විස්සයි-20) තරගාවලියේදී නායිකා චමරි අතපත්තු සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ විශ්මි, තරග 4 කදී ලකුණු 50 ක් රැස්කළාය.  

එක්දින ජාත්‍යන්තර තරග 3 කින් සහ විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 කින් සමන්විත තරගාවලියකට සහභාගිවීම සඳහා මෙම මස 24 වැනිදා සිට ජූනි මස 5 වැනිදා දක්වා පාකිස්තානයේ සංචාරයක නිරත වීමට නියමිත ශ්‍රී ලංකා කාන්තා සංචිතයටද විශ්මි ඇතුළත්ව සිටියාය. එහෙත් එම දිනවලදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටීම නිසා විශ්මිට එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත.

මේ වන විට ඇගේ ස්ථානය සඳහා ඉමේෂා දුලානි කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මෙම වසරේ අන්තර් සමාජ කාන්තා ක්‍රිකට් තරගාවලියේදී හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කළ විශ්මි, තරග 6 කදී ශතකයක් සමගින් ලකුණු 213 ක් රැස්කිරීමට සමත් වූයේ ලකුණු 42.6 සාමාන්‍යයක් සහ 71.96 ක ප්‍රහාරාත්මක ප්‍රවේගයක් රඳවාගනිමිනි. යුද හමුදා කාන්තා ‘බී’ කණ්ඩායමට එරෙහිව රැස්කළ ලකුණු 138, එහිදී විශ්මිගේ හොඳම ඉනිම ලෙස සටහන් විය.


අන්තර් පාසල් තරගාවලියේදී විශ්මිගේ ලකුණු රැස්කිරීම
මූලික වටයේ තරග
පන්නිපිටිය ධර්මපාල විදුහලට එරෙහිව - නොදැවී ලකුණු 16
මීගමුව නිව්ස්ටඩ් බාලිකා විදුහලට එරෙහිව - ලකුණු 197
නුගේගොඩ අනුලා විදුහලට එරෙහිව - ලකුණු 7
මොරටුව වේල්ස් කුමරි විදුහලට එරෙහිව - නොදැවී ලකුණු 51

පෙර අර්ධ අවසන් පූර්ව වටය
පොලොන්නරුව ජයසිරිපුර කනිෂ්ඨ විදුහලට එරෙහිව  - නොදැවී ලකුණු 417

අර්ධ අවසන් පූර්ව වටය
මාතර අනුර විදුහලට එරෙහිව - නොදැවී ලකුණු 28

අවසන් පූර්ව වටය
වාද්දුව මැදි විදුහලට එරෙහිව - ලකුණු 59

අවසන් මහ තරගය
නුගේගොඩ අනුලා විදුහලට එරෙහිව - නොදැවී ලකුණු 125


අදහස් (0)

විශ්මිත විශ්මි තරග 8 කදී ලකුණු 900 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.