Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(රජන්ත බමුණුකොටුව)
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 17න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී කොළඹ මහානාම විද්‍යාලය ලකුණු 12 කින් පරදවමින් ශූරතාව දිනා ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්විය. කොළඹ මහානාම විද්‍යාලය අවසන් තරගය දක්වාම අපරාජිත කණ්ඩායමක් විය.
පාසල් කණ්ඩායම් 72ක් සහභාගිවූ මෙම තරගාවලියේ අවසන් තරගය කොළඹ තර්ස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්විණ. එහිදී තම පාසල් ක්‍රිකට් ඉතිහාසයේ 17න් පහළ පළමු කොටසේ අවසන් තරගයකට පිවිසි පළමු අවස්ථාවේදීම ශූරතාව දිනා ගැනීමට අරෝෂ සිතුමිණගේ නායකත්වයෙන් යුත් රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්වීය.
කාසියේ වාසිය දිනූ මහානාම විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් දේවපතිරාජ විදුහල ඕවර 48 කදී සියලු දෙනා දැවී ලකුණු 191ක් ලබාගත්තේය. ආරම්භක පිතිකරු අරෝෂ සිතුමිණ පන්දු 81 කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 76 ක් රැස් කළ අතර, පසුගිය තරග කිහිපයේදී මෙන්ම මෙම තරගයේදී ද අරෝෂ සිතුමිණ පිත්තෙන් එක දිගට දස්කම් දැක්වීම කැපී පෙනිනි.
යසිරු ලක්ෂාන් (නොදැවී 36) සහ ඔෂේන් කල්හාර (23) තම ඉනිම ගොඩනැංවීමට දායක වූහ.
ආරම්භක පිතිකරුවන් දෙදෙනාවූ අරෝෂ සිතුමිණ සහ ඔෂේන් කල්හාර තම ඉනිමේ පළමු කඩුල්ලට ලකුණු 93 ක අගනා සම්බන්ධතාවයක් පැවැත්වූ අතර, මහානාම පිල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ වමත් පා දඟ පන්දු යවන තෙනුජ රෂ්මින් ලකුණු 36 කට කඩුලු 5ක් දවාලීය.
පිළිතුරු ඉනිමේදී කොළඹ මහානාම විද්‍යාලය එක් අවස්ථාවකදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 150 ක් ලබා සිටියේය. එතැන් සිට ක්‍රියාත්මක වූ ඔෂේන් කල්හාර සහ සඳරු මල්ෂාන් ලකුණු 29 ක් තුලදී අවසන් කඩුලු 7 ම දවාලමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියහ.
මහානාම පිල වෙනුවෙන් සනුල් වීරරත්න පන්දු 79 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 52ක් රැස් කළ අතර විහඟ පෙරේරා (26) සහ යශේන් ගුණතිලක (24) එක්ව මහානාම ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්ධතාවයක් පැවැත්වූහ. එහෙත් පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථක වීම ඔවුනට ජයග්‍රහණය අහිමි කළේය.
ආරම්භක පිතිකරුවා වූ ඔෂේන් කල්හාර පන්දුවෙන් ද කැපී පෙනෙන දස්කම් දැක්වමින් ලකුණු 20 කට කඩුලු 4 ක් දවාගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ ලේකම් බන්දුල දිසානායක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රීඩා හා ශාරිරික අධ්‍යාපන අංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රභාත් ඉන්දික, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති විරාජිත් කඩවැද්දුව, දේවපතිරාජ විදුහල්පතිනි ආර්. කෝකිලා ප්‍රශාන්ති මෙන්ඩිස් මහත්මිය සහ මහානාම විදුහල්පති ප්‍රභාත් ඉන්දික විතානගේ යන මහත්ම -මහත්මීන්ගේ සහභාගීත්වයෙන් ජය සංකේත ප්‍රදානය සිදු කෙරිණි.
රත්ගම දේවපතිරාජ විදුහල - ඕවර 48 කදී සියලු දෙනා දැවී 191 යි
(අරෝෂ සිතුමිණ 76, යසිරු ලක්ෂාන් නොදැවී 36, ඔෂේන් කල්හාර 23, තේනුජ රෂ්මින් 36/5, කෞශික තිලකරත්න 38/2)
කොළඹ මහානාම විද්‍යාලය - ඕවර 41.1 කදී සියලු දෙනා දැවී 179 යි
(සනුල් වීරරත්න 52, විහඟ පෙරේරා 26, යශේන් ගුණතිලක 24, ඔෂේන් කල්හාර 20/4, සදරු මල්ෂාන් 31/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.